හීන් මල් වැහි අරන්
වසන්තය පැමිණිලා
සොඳුරු සරසවි බිමට
සිනාමල් පිබිදිලා
කඳුලකට ළඟ හිඳින
මහා පවුරක් වෙමින
බැඳෙයි මිතුදම් ලෙයට
ජීවිතේ පෙර නොවිඳි
මිහිරි බව විඳින්නට
හද කුටියෙ සිරව
සිටි
සොඳුරු සිතුවම්වලට
ඉඩහරිමි පියඹන්න
ඒබ්‍රහම් මාස්ලෝ, එල්ටන් මායෝ වැනි අයවළුන්ගේ න්‍යායයන්ගෙන්
මාව හෙම්බත් වීය. ජෝන් නෑෂ්ලාගේ ගණනය කිරීම් මට වදයක් විය. කෙට්ලර්ලාගේ මාකටිං මට අරහං
විය. බතාලා, ඩෝරලා
ලෙක්චර්ස් යද්දී මම කට්ටි පැන්නෙමි. මා තෝරා ගත් මඟ
විසින්ම මා අතරමං කර ඇති බවක් දැනුන හෙයින් මා අභ්‍යන්තරයෙන් මහා අගාධයකට වැටෙමින් සිටින බවක් මට දැනුණි. ජීවිතයේ කිසිම
කලක නොවූ අයුරින් මම හුදකලා වී සිටියෙමි.
“ලෙක්චර් එක කට්
කළේ මොකද මිනිහෝ?”
බතා ඈත සිට කෑ
ගසමින් ඩෝරාත් සමඟ මා වෙත පැමිණියේය.
“සිරාවට මනේෂ්, මොකද බං
උඹට වෙලා තියෙන්නේ? කැම්පස් ඇවිත් දවස් කීයද? දැන්ම උඹ ලෙක්චර්ස් කට් කරන්න පටන් අරන්ද?”
ඩෝරා මා සිටි බංකුවේ මා ළඟින්ම ඉඳ
මගේ කරට අතක් දමා ගනිමින් ඇසුවේය. ඩෝරා හා බතාගේ පැමිණීම මට සියල්ල අමතක කරවන්නක් විය. ඔවුන්ගේ මිතුරු ඇසුර නොවන්නට මා මරු කතරක
අතරමං වනු ඇත.
“අනේ, මට බෑ බං එස්කිමෝවරුන්ටත් අයිස් පෙට්ටි විකුණන්න ඉගෙන ගන්න. කොටින්ම කියනවා නම් මං
කැමැති නෑ මගේ ළඟින් ඉන්න උඹලා
දෙන්නවත් මගේ ගොදුරු විදිහට දකින්න.”
විහිළුවට වුවත්
සැබෑවක් මම ඔවුන්ට කීවෙමි.
“මේ බලපන්කො මෙයාගේ තවුසන්ඩ් ටෝක්ස්. කොහෙද ඉතිං උඹලාට වවා ගෙන කන්න පින නෑනේ”
ඩෝරාගේ කථාවට බතාද එක් විය.
“උඹ දන්න ඉටි
ගෙඩිය. තාම උඹලා ඉන්නෙ
මුල් අවධිය නෙ බං. මචං දැන් මේක
සමාජ ප්රතිලාභ ලබා දෙන, නැතුවම බැරි, මානව හිතවාදී සංකල්පයක්. කොහෙද
ඉතින් උඹ ඔය දාගෙන ඉන්න කණ්ණාඩියේ පාටට නේ උඹට ලෝකෙ පෙනෙන්නේ”
“හරි, හරි. ඒවායින් වැඩක්
නෑ. ලෙක්චර් එකට
මගේ අත්සන හරිනේ? ඔන්න සෙමෙස්ටර් එන්ඩ් එග්සෑම්
එකට මට ලියන්න සියයට අසූව ඇටෙන්ඩන්ස් නැති
වුණොත් නම් උඹලා දෙන්නාම මට අනිවාර්යයෙන්ම ගොදුරු දෙකක් විදියට පෙනෙයි පුතේ”
“ඔව් ඉතින් උඹලාට
අපි ඉන්න හින්දම හොඳා. අත්සන් ගහලා මාට්ටු වුණු දාට අපිත් ගස්. ඒ ගන්න අවදානමට
අපිට ප්‍රතිලාභයකුත් තියෙන්න එපැයි. වරෙන් යන්න කැන්ටිමට. අරන් දියන් උඹ ගානේ කන්න බොන්න”
බතා මාවත් ඩෝරාවත් කැන්ටිම වෙත ඇදගෙන ගියේය.
“ බතා නෙමේ
මූට ‘සවුදම් ජෙමා’ කියලායි කාඩ් එක දාන්න
තිබුණේ.”
ඩෝරා කීවේය.
බතා නම් පින් බතෙක්මය. ඇස් වහක් කට
වහක් නැත, කෑම රුචිය නම්
අඩුවක් නැතුව බතාට හැම දාකම ඇත. ඔහු
පහසුවෙන් පෝෂණය කළ හැකි පුද්ගලයකු
නොවීය. සෑම විටම දත
කනුයේ යමක් ආමාශගත කිරීමටය. යන එන තැනක වතුර කරාමයක් හෝ දුටුවහොත් අපරාදේ නොකියා එයවත් අත නොහැර කරාමය
ඇර වතුර ටිකක් හෝ බී එයි. බතා කෑවේ බීවේ ජීවත් වන්නට නොව ඔහු ජීවත් වූයේ කෑමට හා බීමටය. බතාගේ ගෙදර උදවිය ඔහුට කොහොම කන්න බොන්න දෙනවා දැයි
අපට ප්රශ්නයකි. වැරදීමකි. ප්රශ්නය, බතාට කන්න දෙන්නේ කෙසේ දැයි යන්න නොව බතා ගෙදර ඉන්දැද්දී
අනෙක් අය කන්නේ බොන්නේ කෙසේද යන්නයි.
“සෝමෙ අයියා, කාබාසිනියා
කරන්න මොනාද තියෙන්නෙ?”
බතා කැන්ටිමේ
සෝමෙ අයියගෙන් කෑමට යමක් ඇණවුම් කළේය. බතාගේ ඇණවුමට
බර පැන දැරීමට ඩෝරාත් මා වෙනුවෙන් දායක විය. අනතුරුව ප්ලේන් ටී තුනක්ද ගෙන අප තිදෙනා මේසයක් වෙත ගොස් ගත් දෑ
කාබාසිනියා කිරීමට පටන් ගත්තෙමු.
“අපරාදෙ කියන්න බෑ. කැම්පස් ආව එකේ
ලොකුම වාසිය අපේ බතාට තමයි. මොකද කන්න
බොන්න ටික අඩුවට තියෙනවානේ නේද මචං?”
ඩෝරාගේ කතාවට මගේ මුවඟට සිනහවක් නැඟුණි.
“අනේ අම්මප!
කන්න බොන්න
පුළුවන් මිනිහෙකුට ඔහොම ඊර්ෂ්‍යා කරන්න
එපා බං. උඹලා වාගේ නෙවෙයි
අපි හොඳට
කාලා බීලා පුරුදු මිනිස්සු. අපි කවදා හරි
අකාල මරණං නොවේ, කාල මරණං. දන්නවාද?”
බතා බඩට තට්ටුවක්
දමන ගමන් කීවේය. ඔහු කෙරෙහි උපන් සහෝදර ප්‍රේමයෙන් මම
ඔහුගේ බඩට පහරක් ගැසුවෙමි.
“ඔන්න ඉතිං උඹලාගේ
ආණ්ඩුව කරන දේ නම් මට කරන්න එන්න එපා”
බතාගේ කතාවට
මම තුෂ්ණිම්භූත වූවෙමි.
“මොකක්ද ඒ?”
“බඩට ගහන එක”
අපි තිදෙනාම
සිනාසුනෙමු.
“ඒක නෙවෙයි මචං
ඇයි උඹ නේවි එකට යන්න හිතන් ඉන්නේ?”
සෑහෙන දවසක සිට ඩෝරාගෙන් ඇසීමට සිතා සිටි ප්‍රශ්නයක් මම ඔහුගෙන්
ඇසුවෙමි.
“ඒක පොඩි කාලෙ
ඉඳන් මගෙ හීනෙ බං. අපේ මාමා කෙනෙක්
හිටියා නේවි එකේ. පොඩි කාලේ ඉඳන්
මගේ වීරයා වුණේ අපේ මාමා තමයි. එයා දිහා බලාගෙනයි මමත් හැදුණේ වැඩුණේ. සමහර විට ඒ
හින්දා වෙන්නත් ඇති. හැබැයි ඇත්තටම රට
වෙනුවෙන් හමුදාවට යන එකත්
ආඩම්බරයක්. අනික
ඩිග්‍රිය කම්ප්ලීට් කර ගෙන ගියාම
හොඳ පෝස්ට් එකකට පැන ගත්තෑකි.”
ඩෝරාගේ කථාව අතර
වර්ෂා සුබ්‍රමනියම් ඇතුළු දමිළ නඩය
කැන්ටිමට ආවෝය. වර්ෂා සහ තවත් දමිළ යුවතියන් දෙදෙනෙක් අපට දකුණු පසින් කැන්ටිමේ කොනේ
හිඳ ගනිද්දී අනික් පිරිස
තේ කවුන්ටරය වෙත ගියහ. මා ඇය දෙස බලා සිටියත් ඇය මා දුටු බවක් නම් නොපෙනුණි.
“මාත් කැමැතියි
නේවි එකට යන්න. ඒත් මට පීනන්න බෑනේ බං”
බතා තම හැඩි දැඩි ශරීරය පෙන්වමින් කීවේය.
“ඉතින් පීනන්න නම් මටත් බෑනේ”
ඩෝරා ඇඟට පතට නොදැනී කියද්දී බතාගේ මුහුණේ ප්රහේළිකාවක්
ඇඳුණි.
“එහෙනම් උඹ කොහොමද නේවි එකට
යන්නේ?”
හරි බං, පීනන්න දැන ගන්න ඕනැද නේවි එකට යන්න? උඹ හිතනවාද එයාර් ෆෝස් එකේ ඉන්න අයට පියාඹන්න පුළුවන් කියලා ”
ඩෝරා, මාවත් බතාවත් මහ හඬින් සිනා ගැස්වීමට සමත් විය. එම සිනා හඬ කැන්ටිම පුරාම
විහිදෙන්නට ඇත. ඒ හඬට වර්ෂා අප දෙස බැලුවාය. ඒ සුන්දර මුහුණේ
අවිහිංසක හිනාව මා සිත ඈ වෙත
අද්දවා ගත්තේ කෙසේ දැයි මම නොදනිමි.
waiting for next one
ReplyDelete:) thank u :)
ReplyDelete