මනුෂ්‍යත්වය
ජීවිතය යනු නොවේ
තනිව යා හැකි
ගමනක්
එය අරුත් වන්නේ
මනුසත්කමෙන් පමණක්
වැටුණු අයෙකුට - දෑතක්
හඬන අයෙකුට -සිනහවක්
බිඳුණු සිතකට - සවියක්
වන්න - එය මහා මෙහෙයක්
ජීවිතය යනු කුසුමක්
මහා උයනක පිපුණත්
සුවඳවත් වන්නේ
මනුසත්කමෙන් පමණක්
වර්ෂාගේ ඉල්ලීම නිසාවෙන් පහුවදා මම වේලාසනින් කැම්පස් ගියෙමි. මම යන විටත් ඈ
මා අපේක්ෂාවෙන් රූස්ස ගස් යට බංකුවක
වාඩි වී සිටියාය.
“ගොඩක් වෙලාද ඔයා ඇවිත්...?”
“නෑ, දැන් ටිකකට කලින් ආවේ”
මා ඈ ළඟින් වාඩි වූයෙමි. ඈ මට ළං වූවාය. වෙන කවරදාකටත්
වඩා මට ළංව මගේ දකුණත තදින් අල්ලා ගත්තාය.
“මනේෂ්... මේ ඔක්කොම අත ඇර
දාලා අපි කොහේ හරි ඈතක යමුද?”
ඈ බොහොම අහිංසක ලෙස ඇසුවාය.
“ඒ... මොකද ඒ?”
මට එක්වරම ඇසුණි. මම එවැන්නක් ඇගෙන් කිසි දිනක බලාපොරොත්තු නොවූයෙමි.
“ළාමක
කෙල්ලෙක් කියන බොළඳ කතාවක් නෙ ඒක”
මම එහෙම කියද්දී ඇගේ මුහුණ දුකින් පිරිලාය. මගේ දෑස් දිහා බැලූ ඇය
වහාම ඉවත බලා ගත්තීය. මගේ දකුණත වැරෙන් අල්ලා සිටි ඇගේ දෑත් ලිහිල් විණි. ඈ දැඩි මානසික සන්තාපයකින්
පසුවන බවකි මට දැනුණේ. මට ඇගේ තත්ත්වය
තේරුම් ගත නොහැකි විය.
“ඇයි වර්ෂා...? මොකක් හරි ප්‍රශ්නයක්ද?’
ඈ කිසිවක් නොකීවාය.
“කියන්නකෝ... මොකක්ද ප්‍රශ්නය?”
මම ඇගේ මුහුණ මගේ පැත්තට හරවමින් ඇසුවෙමි. ඇගේ දෑස් කඳුළින් තෙත් වී තිබුණි.
“වර්ෂා, ඇයි මේ? ඔයාට මටත්
කියන්න බැරි දේවල් තියෙනවාද?”
ඇය කඳුළු පිස දා ගත්තාය.
“මම දෙමළ වුණු එක ගැන මම පසුතැවෙනවා
මනේෂ්”
“ඒ මොකද?”
“ඔයාට තේරෙන්නේ නෑ මනේෂ්. ඔයාට
නොතේරුණාට ඊයේ කී දෙනෙක් මා දිහා තරහෙන් මහ අමුතු
විධියට බැලුවාද? ඒක ඔයා දන්නේ නෑනෙ. දෙමළ අපි හැමෝම
කොටි නෙමේනේ මනේෂ්. මම හිතලා දෙමළ පවුලක ඉපදුණාද?
එහෙම උපදින්න පුළුවන් නම් මේ
රටේ දෙමළ පවුල්වල කවුරුවත් ඉපදෙන්නේ නැහැ. මෙහෙට ආවාට පස්සේ තමයි මම මේ රටේ
කෙනෙක් නෙවෙයි කියලා මට තේරුණේ මනේෂ්. ඒවා ඔයාට කියලා ඔයාගෙන් අනුකම්පාව ගන්න මම කැමැති නැහැ. මට දැන්
මෙහේ ඉඳලා ඇති වෙලා මනේෂ්.”
ඈ
අඬුවාය. මෙතෙක් වේලා
හිතේ තද කර ගෙන හිටි දුක පිට කිරීමට ඈ ඇඬුවාය. මම ඈට අඬන්නට
ඉඩ හැරියෙමි. ඈටත්
වඩා හිතින් මා ඇඬුවෙමි. මා බලා සිටියේ ඈ නිහඬ වන තුරුය. ඈ තරමක් අස්වැසුන
පසු මම කථා කළෙමි.
“මේ බලන්න වර්ෂා. යාපනේ දෙමළ
මිනිස්සු, සිංහල
මිනිසුන්ට සල්ලි යනවා කියලා සිංහල නිෂ්පාදන වැඩිය ගන්නේ නෑ ලු. එතකොට සිංහල බෞද්ධ තේමාවන් යටතේ අලෙවි කරන බිස්කට් වර්ගයක් යාපනේ
විකිණෙන්නෙම නෑලු. ඒත්
ඒ බවක් පෙන්වලා අලෙවිකරණය නොකරන සමාගමක බිස්කට් විතරලු යාපනේ විකිණෙන්නේ. ඉතින් මේවා
අහපුවාම සමහර සිංහල මිනිසුන්ට තරහ යනවා. ඒත් මම නම් ඒ දේට හරි කැමැතියි වර්ෂා. ඒක හරියට තමන්ගේ අම්මා තාත්තා ගැන හිතනවා වාගේ නේ. දෙමළ මිනිස්සු විතරක් නොවෙයි
මේ රටේ මුස්ලිම් මිනිසුන් ළඟත්
බොහොම ඉහළින් තමුන්ගෙකම තියෙනවා. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඒ වාගේම තමන්ගේ ජාතිය
ඇරුණාම අනෙක් ජාතීන් ගැන පොඩ්ඩක් පහත් විධියට හිතන සමහර
මිනිසුන් ඉන්නවා. ඒත් හැමෝම එහෙම
නෑ වර්ෂා. ඊයේ
ඇති වුණ තත්ත්වය මත එක් කෙනෙක් දෙන්නෙක් ඔයා දිහා අමුතු විදිහකට බලපු
එක සාමාන්‍ය දෙයක් නේ වර්ෂා.
ඒක කොහෙත්ම
ගණන් ගත යුතු දෙයක් නෙවෙයි කියලයි මම නම් හිතන්නේ”
“ඔයත් එහෙමද හිතන්නේ මනේෂ්?”
“කොහොමද?”
“අනෙක් ජාතීන් ගැන පහත් විධියටද?”
“එහෙම නම් වර්ෂා අද මමයි ඔයයි මෙතැන ඉන්නවාද?”
ඇයගේ මුවගට සිහින් සිනාවක් නැඟුණි. එය මට තරමක ඇස්වැසිල්ලක් විය.
“ඔයා
එල්ටීටීඊ එක ගැන මොනාද හිතන්නේ මනේෂ්?”
ඇය මගේ දෑස් දෙස බලා පිළිතුරු අපේක්ෂා කළාය.
“අපේ හමුදාව වගේම එල්ටීටීඊ සාමාජිකයනුත්
සටන් කරන්නේ තමන්ගේ ජාතිය වෙනුවෙන්. දෙගොල්ලන් අතර වෙනස මනුෂ්‍යත්වය හා ම්ලේච්ඡත්වයයි. ජීවිතයක් නැති කරලා තවත් ජීවිතයක්
රකින එක අනුමත කරන්න පුළුවන් සාධාරණ
දෙයක් නෙවෙයි. එල්ටීටීඊඑකේ පහළ මට්ටමේ සොල්දාදුවන් ගැන ඇත්තටම අනුකම්පා සහගතයි. ඒ කට්ටියට ඇත්ත ඇති සැටියෙන් පේන්නේ නෑ. ඒ ගොල්ලන් හිතන්න පතන්න ඕනෑ විදිහ ඉහළ සාමාජිකයන් මේ අයගේ ඔළුවලට දාලායි තියෙන්නේ. මහ මොළකාරයෝ දෙතුන් දෙනෙක් හින්දා
අහිංසක ජීවිත දහස් ගණනින් විනාශ වෙලා යනවා. ඔවුන්ගේ කැප වීම
හොඳ දෙයක් වෙනුවෙන් යොදා ගත්තා නම් ඒකෙ
වටිනාකම කියලා නිම කරන්න බැහැ. අපටත් බුක්ති විඳින්න පුළුවන් වෙනව නෙ. ඇයි අපි ඔක්කොම ලාංකිකයෝ නේ. මම හිතන විධියට
මිනිහෙක්ට සිය දිවි නහ ගන්න සෑහෙන්න ධෛර්යයක් තියෙන්න
ඕනෑ වර්ෂා. ඒක තීරණය වන්නේ
අපි ඒ දිහා බලන විදිහෙන්. ලංකාවේ සිය
දිවි නහ ගැනීම බියගුලු ක්‍රියාවක්
විධියට දකිද්දී ජපානයේ එය
ගෞරවාන්විත දෙයක්. එහෙම බැලුවාම මරාගෙන
මැරෙන එල්ටීටීඊ සාමාජිකයන්ගේ කැපවීම, ඉදිරිපත් වීම ගැන හිතාගන්නවත් බෑ. ප්‍රශ්නෙ තියෙන්නේ වැරදි දෙයක් වෙනුවෙන් ඔවුන් එය
කිරීමයි. මනුෂ්‍ය ඝාතනය
මොන අයුරකින්වත් කොහොමද සාධාරණීයකරණය කරන්නේ?
යුද්ධය කියන්නේ කොහොමටවත් අනුමත කරන්න බැරි දෙයක් වර්ෂා. සතුරෙක් එක්ක යුද්ධ කරලා මිනිහෙක්ට රටක් රාජ්‍යයක් දිනා ගන්න පුළුවන් වෙයි. ඒත් තමන්ගේ ලොකුම හතුරා වන තමන්ගේ හදවතට විරුද්ධව යුද්ධ
කරලා දිනන්න පුළුවන් වෙයිද ඒ මනුස්සයාට? යුද්ධයකදී පළමු
වෙඩිල්ල කොයි පාර්ශ්වයකින් කවර පාර්ශ්වයක් වෙත එල්ල වුණද මිය යන්නේ ආදරය
හා මනුෂ්‍යත්වයයි වර්ෂා”
මිනිස්සු ගෝත්‍රිකයි. ගොඩාක් දේවල් තමන්ගේ
කියලා බදා ගන්නවා. ඒ අතරින් ඉහළින්ම
තියෙන දෙයක් තමයි ජාතිය, ආගම. ජාතිය, ආගම ගැන කියලා
හදවත පොඩ්ඩක් කෙනිත්තුවාම හැමෝගේම හදවත් කකියනවා. ගෝත්‍රික වීමේ පොදු හරය
හිතවත්, ආදරණීය සමාජයක් වර්ෂා. ඒක එහෙම නම් ඇයි අපි ඒකේපිටිපස්සට අඩිය තියන්නේ?”
ඈ ඇගේ දිගැටි නෙතු ලොකු කරමින් මා දෙස බලා සිටියාය. ඈ
කිසිවක් නොකියා කල්පනාවේ නිමග්න විය. මම
ඇයට බාධා නොකළෙමි.