ගිම්හාන වර්ෂා - අවසාන දිගහැරුම (දහතුන්වන දිගහැරුම)
නුඹේ මුවඟින් ගලන මිණිවැල්
නුඹේ නෙතඟින් හැලෙන කැල්මන්
එකින් එක සීරුවට අහුලා
මගේ හද ගෙයි හොවා ගනිමි
මා දෙසම නෙතු අයා ගෙන නුඹ
සොඳුරු පදවැල් අමුණ අමුණා
ජීවිතේ පැතු සොඳුරු ගීතය
ගයන්නට ඒයැයි කියා
බලා ඉන්නෙමි මම සදා...
සඳ දියෙන් දෝතක් ගෙනැල්ලා
තරුවලින් වියනක් සදාලා
ජීවිතේ දුටු සොඳුරු සිහිනය
තනන්නට ඒවිය කියා
බලා ඉන්නෙමි මම සදා
වර්ෂාගේ ලියුම ලද දින සිට සතියක් ගිය කල මා බලා සිටි දවස උදා විය. මා, බතා හා ඩෝරා සමඟ කැන්ටිමේ සිටියදී වර්ෂා අප ඉදිරියේ පෙනී සිටියාය. අවසන් වරට මා ඈ දුටු දිනයේදී මෙන්ම ඇගේ මුහුණ මලානික වී තිබුණි. ඇගේ මුහුණේ කිසිදු ප්‍රාණවත් බවක් නොතිබිණි. නමුත් ඈ මා ඉදිරියේ සිට ගෙන කවදත් මා ඇලුම් කළ ඇගේ අහිංසක ලස්සන සිනහවෙන් මුව සරසාගෙන සිටියාය. මටත් වර්ෂාටත් ඉඩ ලබා දෙමින් බතා හා ඩෝරා අප කෙරෙන් ඉවත්ව ගියහ. ඈ මා අසලින් ඉඳ ගනු ඇතැයි මා අපේක්ෂා කළත් ඈ එසේ නොකළාය.
“අපි එළියේ බංකුවකට යමු මනේෂ්. හැම දාකම වගේ මං කැමැතියි අදත් එතැන ඉඳන්ම ඔයත් එක්ක කථා කරන්න.”
වර්ෂා වෙනදාක මෙන් මා සමඟ එක බංකුවේ වාඩි නොවූවාය. මා එක් බංකුවක ඉඳ ගනිද්දී ඈ මා අසල අනෙක් බංකුවේ ඉඳ ගත්තාය. ඉඳ ගෙන ඈ මා දෙසම බලා සිටියාය. ඈ කිසිවක් නොකීවාය. මම ද මීට මාසයකට පමණ පෙර දවස්වල කළාක් මෙන් ඇගේ මුහුණ දෙසම බලා සිටියෙමි. නමුත් ඒ, එම දිනවල සිතෙහි තිබූ අප්‍රමාණ මානසික ප්‍රීතියකින් නම් නොවේ. දුක, පුදුමය, කුතුහලය මිශ්‍ර හැඟීමකිනි.
“අන්තිම සැරේටත් ඔයාව හිතේ හැටියට බලා ගන්න ටිකක් ඉඩ දෙන්න මනේෂ්”
ඈ කඳුළු පිරි දෑස් ඇතිව අහිංසක සිනහවෙන් මුව සරසාගෙන නිහඬතාව බින්දාය. තවත් විනාඩි කිහිපයක් අප කතා නොකර සිටින්නට ඇත.
ඇගේ දෑස් කඳුළු ගංගාවක් පිට කරද්දී ඈ පැවසුවාය.
“ෆ්‍රෙෂස් ෆෙස්ට් දිනයේ වූ සිදුවීම මෙතරම් ඈට බලපෑවේ කෙසේ දැයි මට සිතාගත නොහැකි විය. ඈ දෙස එදින වපරැසින් බැලූ සියලු දෙනා කෙරෙහිම මගේ සිතේ වෛරයක් උපන්නේය.
“මං එල්ටීටීඊ බුද්ධි අංශයේ සාමාජිකාවක් මනේෂ්”
අනතුරුව ඈ කී කතාවෙන් මගේ දෙළොව රත් විය. මම පුදුමයෙන් ඈ දෙස බලා සිටියෙමි. ඈ එය කියා මගේ දෑසින් ඇගේ දෑස් ඉවතට ගත්තාය. මම ඈ සිටි බංකුව වෙතට ගොස් ඈ ළඟින් ඉඳගෙන ඇගේ මුහුණ මා දෙසට හැරවීමට උත්සාහ කළෙමි. නමුත් ඈ එයට අවනත නොවූවාය. ඈ මුහුණ දැඩි කර ගෙන බිම බලාගත් වනම සිටියාය. අනතුරුව ඈ මා බදා ගෙන ඇඬීමට පටන් ගත්තාය. මම හැඟීම් විරහිතව බලා සිටියෙමි. කුමක් කිව යුතු දැයි, කුමක් කළ යුතු දැයි මට අවබෝධ නොවීය. සැබැවින්ම ඈ පැවසූ දෙයහි අර්ථය කුමක් දැයි කියා හෝ මට හරිහැටි අවබෝධ නොවීය.
“මම හැම දෙයක්ම කියන්නම් මනේෂ්”
ඈ කඳුළු පිස දමමින් පැවසුවාය. ඈ ප්‍රකෘති තත්ත්වයට පත් වීමට තවත් සුළු වේලාවක් ගත විය. අවසාන කඳුළු බිංදුවත් පිස දැමූ ඇය කතාවට මුල පිරුවාය.
ඈ ඇගේ සිත සකසා ගැනීමට යම් කාලයක් ගත්තාය. අනතුරුව යළිත් දොඩමළු වූවාය.
මම කොළඹ ආව ගමන් උන්ගේ විස්තර සියල්ලක්ම හමුදාවට කියන්නයිමම හිටියේ. ඒත් මගේ අම්මා හින්දා ඒක මට ලේසියෙන් කරන්න බැරි වුණා. මට කරන්න තිබුණේ කොළඹ ඇවිත් කැම්පස් යන ගමන් උන්ට ඕන කරන දේවල් ගැන හොයලා බලලා විස්තර යවන එක. විශ්වාස කරන්න, මං කිසි වැදගත් විස්තරයක් උන්ට කිව්වෙ නෑ. ඒකට තව කල් ඕනෑ කියලා මං මඟ හැරියා. ඒ වුණත් නුගේගොඩ ගෙදර මගේ අක්කා වාගේ හිටිය කෙනා හින්දා මට ටිකක් කරදර වුණා. මගේ හැම වැඩක් ගැනම එයා ඇහැ ගහගෙනයි හිටියේ.
උන්ගේ ප්ලෑන් එකට අනුව මම සිංහල පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන්න ඕනෑ. මට සමා වෙන්න මනේෂ්, ඒකට මම ඔයාව තෝරා ගත්තට. හැබැයි ඔයාට මම ආදරය කළේ නම් බොරුවට නෙවෙයි. මම ඇත්තටම ඔයාට ආදරය කළා. ඔයාව මට හිමි නෑ කියලා දැන දැනත් මම ඔයාට ආදරය කළා. මනේෂ් මට දහස් වාරයක් සමා වෙන්න. ඔයාට මෙච්චර දුක් දෙන්න වුණු එකට.
මම උන් කියන විධියට වැඩ කරනවාද බලන්න දවසක් ඔයාව නුගේගොඩ ගෙදරට එක්කර ගෙන එන්න කිව්වා. එදා ඔයාව මං හිටිය තැනට එක්කර ගෙන ගියේ දහස් වාරයක් මටම ශාප කර ගන්නා ගමන්. ඒත් මගේ අම්මාව ආරක්ෂා කර ගන්න ඕනෑ හින්දා උන්ගේ විශ්වාසය දිනා ගැනීම මට වැදගත් වුණා. එදා ෆ්‍රෙෂස් ෆෙස්ට් දවසේ රෑ මට හිතුණා මං කොච්චර ආත්මාර්ථකාමීද කියලා. මගේ අම්මව රැක ගන්න මං කී දෙනෙක්ව ඇපයට තියනවාද කියලා මට හිතුණා. මං එදා රෑ ඔයාට නුගේගොඩ ගෙදර නවතින්න කිව්වේ මේ ඔක්කොම ඔයාට කියන්න. එදා රෑ එල්ටීටීඊ ගෑනි ගෙදර හිටියේ නෑ. ඒත් ඔයා ඒකට කැමැති නැති වුණ හින්දායි ඔයාට උදේම කැම්පස් එන්න කිව්වේ. ඒ උදේටවත් මේවා ගැන ඔක්කොම විස්තර කියලා මං පොලීසියට භාර වෙනවා කියලා හිතා ගෙන. ඒත් මට එදා උදේ ඒක කර ගන්න බැරි වුණා මනේෂ්. මට මගේ අසරණ අමමාව මැවි මැවී පෙනුණා. ඔයාත් එක්ක එදා කතා කරපු දේවල්වලින් මං දාස් වාරයක් මැරි මැරී ඉපදුණා මනේෂ්. මං මොන තරම් පවුකාරියක්ද කියලා මට හිතුණා. එදායින් පස්සේ ආයෙමත් ඔයාගේ මූණ බලන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ මනේෂ්.
ඊට පස්සේ මම ආයෙමත් කැම්පස් ආවේ නෑ. මාත් එක්ක නැවතිලා හිටිය එල්ටීටීඊ ගෑනි මට පුදුම විදිහට වද දුන්නා. මං ඒ ඔක්කොම ඉවසා ගෙන හිටියා. ඒත් මං ආයෙ කැම්පස් ගියේ නැත්තං මට ආයෙමත් මගේ අම්මාව පණ පිටින් දැක ගන්න ලැබෙන එකක් නෑ කිව්වා. මගේ අම්මාට තියෙන ආදරේට මම ආයෙමත් දවසක් කැම්පස් ආවා. එදා ඔයා මා ළඟට ආවාම මට කර ගන්න දෙයක් තිබ්බෙ නෑ මහේෂ්. එදා මම ඔයා ළඟින් දුව ගෙන ගියේ මේක ඉවරයක් කරනවා කියලා හිතා ගෙන. එදාම මට දැන ගන්න හම්බ වුණා අම්මා නැති වුණාය කියලා. ඒත් උන් මට ඒක කිව්වෙ නෑ. එහේ මගේ යාළුවෙක් මාර්ගයෙන් තමයි මං ඒක දැන ගත්තේ. අම්මා ගොඩාක් දුක් විඳලා තමයි නැති වෙලා තියෙන්නේ මනේෂ්. මට මගේ අම්මාගේ මළ ගමටවත් යන්න බැරි වුණා. උන් කොහේ හරි කැලෑවක ගිහින් දාන්න ඇති අම්මාගේ මිනිය. ඊට පස්සේ උන්ට ඕනෑ වුණා, තාමත් මම ඉන්නේ උන් එක්කද කියලා දැන ගන්න. මං තාමත් ඉන්නේ උන් එක්ක කියලා මම ඇඟෙව්වා. ඊට පස්සේ කොළඹ ඇවිත් තමයි මං ඔයාට පොඩි ලියුමක් එව්වේ. මගේ අම්මා නැති වුණායින් පස්සේ මට උන්ව රකින්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඒ වාගේම අම්මා නැති වුණාට පස්සේ මේ ජීවිතේට මගේ කිසිම ආසාවක් තිබ්බෙත් නෑ. මගේ පවුලෙ අයව මැරුව පළිය ගන්නයි ඊට පස්සේ මට ඕනෑ වුණේ. ඊට පස්සේ නිර්නාමිකව සැරෙන් සැරේ හමුදාවට පොලිසියට කෝල් කරලා මං දන්න දේවල් ටික ටික කිව්වා. උන්ටත් මං ගැන අවිශ්වාසයක් ඇති නොවන විදියට බොරු විස්තර දුන්නා. ඒත් ඒ වැඩේ ගොඩක් දුරට කර ගෙන යන්න මට බැරි වුණා. උන්ට මං ගැන සැක හිතුණා. කොහොම හරි මගේ වැඩ ගැන දැන ගන්න ඇති. අද උදේ මාව අල්ලා ගන්න දෙන්නෙක් එද්දී මං උන්ට හොරෙන් පැන ගත්තා. පස්සෙ මං දන්න ඔක්කොම විස්තර මං පොලිසියට කෝල් කරලා කිව්වා. දැන් මගේ හිත නිදහස්. මට තියෙන ලොකුම දුක මං ඔයාට කරපු දේ මනේෂ්”
ඇය කතා කරද්දී මම කිසිවක් නොකියා අසා සිටියෙමි. මෙය සිහිනයක්දෝයි මට සිතුණි. සැබැවින්ම මම කෝමා රෝගියෙකුට සමාන විය. මට ඇසිණි; දැනිණි. නමුත් කතා කිරීමටවත් කිසිම අයුරකින් ප්‍රතිචාර දැක්වීමකටවත් අපොහසත් වුණි. ඇගේ ආදරය මට අහිමි වීමට යන බවක් දැනුණු නිසාවෙන් මගේ හදවත මහා පීඩනයකට ලක්ව සිර විය. මට හුස්ම ගැනීමට පවා අපහසු විය. මගේ හිස පුපුරන්නට යන බවක් මට දැනුණි.
“අපි මේ ඔක්කොම දාලා කොහේ හරි ඈතක යමු වර්ෂා”
අවසානයේ බොහොම අපහසුවෙන් ඇගේ දෑත් අල්ලා ගනිමින් මම කීවෙමි. එය අසා ඇය සිනාසුනාය, මා දෙස අනුකම්පා සහගත අයුරින් බැලුවාය.
“ඔයාට මතකද මනේෂ්, එදා ෆ්‍රෙෂස් ෆෙස්ට් දවසට පස්සෙ දවසේ උදේ මං ඔයාගෙන් ඕකම ඇහුවා. එතකොට ඔයා කිව්වා, ‘ළාමක කෙල්ලක් කියන හරි බොළඳ කතාවක් නෙ’ ඒක කියලා. එදා ඇත්තටම මට ඕනෑ වුණේ මේ ඔක්කොම දාලා ඔයා එක්ක කොහෙ හරි ඈතක ගිහින් ජීවත් වෙන්න. මොනා වුණත් මට ඔයාගේ ආදරය තියෙනවා නේද කියලායි මට හිතුණේ. ඒත් එහෙම ආත්මාර්ථකාමී විධියට මං ගැන හිතන එක වැරදියි නේද කියලා මට පස්සේ හිතුණා. මං කවුද? ඔයා කවුද? මේ මුකුත් නොදන්නා ඔයාගේ වටිනා ජීවිතය විනාශ කරන්න මට අයිතියක් නෑ කියලා මගේ හිත මටම දොස් කිව්වා. පස්සෙ මං මගේ අදහස් වෙනස් කළා. ඇරත් දැන් ඒකට හොඳටම පරක්කු වැඩියි මනේෂ්. තව ටිකකින් ඒ ඇයි කියලා ඔයාට තේරෙයි.”
ඇය මගේ දෑත් තද කරමින් පවසද්දිම අප ෆැකල්ටියට පොලිස් ජිප් රථයක් පැමිණියේය. ඈ සියල්ල ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කර ඇත. මම ඈ දෙස බැලුවෙමි. ඈ සිනාසුණාය. මගේ ආදරණීය වර්ෂා මට අහිමි වී යයි. මට ක්ලාන්ත ගතියක් දැනිණි.
“ඉතින් මට යන්න අවසරයි මනේෂ්. මං ඔයාට ගොඩාක් ආදරෙයි. මං මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි. ඒක ළාමක කෙල්ලක් කියන බොළඳ කථාවක් කියලා හිතන්න එපා මනේෂ්. මම ඔයාට ආදරය කළේ බොරුවටනෙමේ. මාව අමතක කරන්න එපා කියලා ඔයාගෙන් ඉල්ලන්න තරම් මං වාසනාවන්ත නෑ මනේෂ්. තවත් ආත්මෙක අපිව ආයෙ හමු වේවි. එතකොට නම් මම ඔයාගේ ළඟටම වෙලා ඉන්නවා සත්තයි. එතකල් ඔයා මාව අමතක කරන්න මනේෂ්. ඔයාට කවදාවත් වරදින්නේ නෑ. ප්ලීස්... ඔයා මාව අමතක කරන්න. නැත්නම් මගේ ආත්මෙටවත් කවදාවත් සැනසීමක් නැති වේවි. වෙනදා වගේ ගිහිං එන්නම් කියන්න මට පුළුවන්කමක් නෑ. මං යන්නම් මනේෂ්. ආයෙ නොඑන්නම මම යනවා. පුළුවන් නම් මට සමාව දෙන්න. පුළුවන් නම් එකම එක සැරයක් මාත් එක්ක තරහා නෑ කියලා විතරක් කියන්න මනේෂ්...”
ඇය මගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටියාය. නමුත් මට කිසිවක් කියා ගත නොහැකි විය. මගෙන් ප්‍රතිචාරයක් නොමැති කල ඈ මගේ දෑත් සිඹ යන්නට හැරුණාය. මට ඉබේම නැගිට්ටවුණි. ඈට කිසිම අයුරකින්වත් ප්‍රතිචාර දැක්වීමටමම අපොහොසත් වූයෙමි. මගේ දෑස් බොඳ විය. මුළු සරසවියම මා වටා කැරකුණේය. ඈ පොලිස් ජිප් රථය වෙත ගොස් හැරී මා දෙස බලා සිනාසුණාය. මා කවදත් ප්‍රිය කළ ඇගේ ඒ අහිංසක ලස්සනම ලස්සන සිනහව ඒ වේලෙහි ඇගේ මුහුණේ සිත්තම් වී තිබුණි. එය සැමදා මගේ කර ගැනීමටය මා උත්සාහ දැරුවේ.
ඈ පොලිස් ජිප් රථයට නඟිද්දී මා බංකුවට ඇද වැටුණි. පොලිස් ජිප් රථය ෆැකල්ටියෙන් යන අයුරු මා බොඳ වූ දෑසින් බලා සිටිද්දී බතා හා ඩෝරා මා වෙත දිව ආහ.
මගේ ආදරණීය වර්ෂා මගෙන් වෙන්ව ගියාය. යළිත් කිසිදු දිනක මට ඈ යළි හමු නොවනු ඇත. ඇගේ සෙනෙහෙබර ඇසුර මට නැවත නොලැබෙනු ඇත. “ආදරෙයි” නොකියා පටන් ගත් ආදරයක් “ආදරෙයි”කී දවසෙම මියැදුණේය. මගේ ප්‍රථම ආදරයලත් තැනදිම ලොප් වනු ඇතැයි මම සිහිනෙකුදු නොසිතුවෙමි. මට මා ගැන කලකිරීමක් ඇති විණි. ඇය දෙස බලා එක වරක් “මං ඔයාත් එක්ක තරහා නෑ වර්ෂා” යැයි කීමට තරම් මට නොහැකි වූයේ මන්ද?
ඇය නොමැතිව, ඈ නිසාවෙන් පිබිදුණු මා තුළ වූ සොඳුරු හිතවාදියා හෙට දිනයේදී මියැදෙනු ඇත. මා පෙර ලෙසම හුදකලා වෙනු ඇත.
නමුත් ඈ සමඟ ගෙවූ සොඳුරු මතකය කිසිදා මා කෙරෙන් ඈත් නොවෙනු ඇත. ඇගේ ආදරයද, මා සැමදා ඇලුම් කළ ඇගේ හිස රැඳි පිච්ච මල් දම්වලින් හැමූ ඉමිහිරි සුවඳ වැනිය; සැබෑ ලෝකයේ මා ළඟ නොවූවත් සිතින් සැම දා මා ළඟය.
දහසක් මිනිසුන් හමු වෙමින් වෙන් වෙනා, වෙන් වෙමින් හමු වෙනා අප මේ ජීවිතය තුළ කවදා හෝ දවසකදී අලුත් බලාපොරොත්තු ගොන්නක් තුරුළු කොට ගෙන ඇය මට යළි මුණ ගැසෙනු ඇත. ඒ දිනය කෙසේ කවදා දිනක උදා වේදැයි මම මඟ බලා හිඳින්නෙමි.
මා දෑස වසාලා - නුඹේ ඔය දෑතින්ම
මවා මා ඉදිරියෙහි
සුන්දරම වූ ලොවක් ...
පියාපත් සෙවූ මට - පියාඹනු කියා දී
ඈත දුර අහස් කුස
කුණාටුව අභිමුවේ මා අතැර හැර දමා
නුඹ ඈත දුර ගිහින්
නෙත නුඹව සොයන විට
නුඹ බොහෝ දුර ඈත
පුංචිම පුංචි තිතක්
එහෙත් නුඹ එනතුරා
මඟ බලා හිඳිනවා
නුඹට පෙම් කළ සිතක්...
ගිම්හාන වර්ෂා - මෙතකින් අවසන්............
'ගිම්හාන වර්ෂා' දින කිහිපයක වෑයමකින් පසු මුද්‍රණද්වාරයෙන් පිට වූ කෙටි නව කතාවකි. එය වැඩි පිරිසක් වෙත යැවීම සඳහා මෙසේ බ්ලොග් ගත කරන ලදි.
‘සුදසුන් ඉසව්ව’ මාගේ පළමු කෘතිය වෙනුවෙන් මම අදටත් ප්‍රතිචාර ලබමි. එය කියැවූවෝ තවත් පොතක් නොලියන්නේ මන්දැයි මගෙන් විමසූහ. ‘ගිම්හාන වර්ෂා’ කෙටි නවකතාව එහි ප්‍රතිඵලයයි.
මා මෙය ලියමින් සිටියදී මෙහි අත් පිටපත කියැ වූ මා සුමිතුරු හසිත් ගුණසේකර මේ වෙනුවෙන් ගේය පද සංකල්පනාවක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා සුමිතුරු ෂෙහාන් කෞෂල්‍ය අපූරු තනුවක් යොදා ගීතයක් නිර්මාණය කළේය. එය ගිම්හාන වර්ෂා ගීතයේ විකාශනයයි.
ගිම්හාන වර්ෂා ගීතය http://www.youtube.com/watch?v=fZN7qwSSbE4
ගිම්හාන වර්ෂා facebook page http://www.facebook.com/pages/Gimhana-Warsha/115420305207188?ref=ts&fref=ts
මේ පිළිබඳ ඔබගේ අදහස් ඉතා අගේ කොට සළකමි.