Saturday, November 3, 2012


ගිම්හාන වර්ෂා - අවසාන දිගහැරුම (දහතුන්වන දිගහැරුම)


නුඹේ මුවඟින් ගලන මිණිවැල්
නුඹේ නෙතඟින් හැලෙන කැල්මන්
එකින් එක සීරුවට අහුලා
මගේ හද ගෙයි හොවා ගනිමි

මා දෙසම නෙතු අයා ගෙන නුඹ
සොඳුරු පදවැල් අමුණ අමුණා
ජීවිතේ පැතු සොඳුරු ගීතය
ගයන්නට ඒයැයි කියා
බලා ඉන්නෙමි මම සදා...

සඳ දියෙන් දෝතක් ගෙනැල්ලා
තරුවලින් වියනක් සදාලා
ජීවිතේ දුටු සොඳුරු සිහිනය
තනන්නට ඒවිය කියා
බලා ඉන්නෙමි මම සදා













වර්ෂාගේ  ලියුම  ලද දින සිට  සතියක් ගිය කල  මා බලා සිටි   දවස  උදා විය. මා, බතා හා ඩෝරා   සමඟ  කැන්ටිමේ සිටියදී  වර්ෂා  අප ඉදිරියේ පෙනී සිටියාය.  අවසන් වරට  මා ඈ දුටු දිනයේදී මෙන්ම ඇගේ මුහුණ මලානික වී තිබුණි. ඇගේ මුහුණේ  කිසිදු ප්‍රාණවත් බවක් නොතිබිණි.  නමුත්  ඈ මා ඉදිරියේ  සිට ගෙන කවදත් මා ඇලුම් කළ ඇගේ අහිංසක  ලස්සන සිනහවෙන්   මුව සරසාගෙන සිටියාය.  මටත් වර්ෂාටත් ඉඩ ලබා දෙමින්   බතා හා  ඩෝරා  අප කෙරෙන් ඉවත්ව  ගියහ.   ඈ  මා අසලින් ඉඳ ගනු ඇතැයි  මා අපේක්ෂා කළත් ඈ  එසේ නොකළාය.

            “අපි එළියේ බංකුවකට  යමු මනේෂ්. හැම දාකම වගේ මං  කැමැතියි අදත්  එතැන ඉඳන්ම ඔයත් එක්ක කථා කරන්න.”

      ඇගේ කට හ‍ඬෙහිද   කිසිදු ප්‍රාණවත් ගතියක් නොවීය.  එය සැබැවින්ම කතා කිරීමකට  වඩා   හැඬීමකට සමාන විය. මම ටික වේලාවක්  ඇය දෙස බලා සිටියෙමි. ඇයට  කුමන  අයුරකින් ප්‍රතිචාර දැක් විය යුතු දැයි සිතා ගත නොහැකිව සිටියෙමි.  මගේ නිහඬ බව  හමුවේ ඇය අසරණ වන්නට ඇත.  ඇයගේ දෙනෙත් කඳුළින් තෙමෙද්දී මට නැගිට්ට විණි.   අනතුරුව  අ‍පගේ  ආශ්‍රය පටන් ගත්  තැනටම,  මා සරසවියේ වඩාත් ඇලුම් කළ  තැනටම, අප දෙදෙනා සරසවියේ කල් ගෙවූ ඒ රූස්ස ගස් යට බංකුව  වෙතටම අපි ගියෙමු.


         වර්ෂා වෙනදාක මෙන් මා සමඟ එක  බංකු‍වේ වාඩි නොවූවාය.  මා එක් බංකුවක ඉඳ ගනිද්දී  ඈ මා අසල  අනෙක් බංකුවේ ඉඳ ගත්තාය.  ඉඳ ගෙන   ඈ මා දෙසම බලා සිටියාය.   ඈ කිසිවක්   නොකීවාය.  මම ද  මීට මාසයකට පමණ පෙර දවස්වල කළාක් මෙන් ඇගේ  මුහුණ දෙසම බලා ‍ සිටියෙමි.  නමුත්  ඒ,  එම දිනවල  සිතෙහි තිබූ අප්‍රමාණ   මානසික ප්‍රීතියකින් නම් නොවේ.  දුක, පුදුමය, කුතුහලය  මිශ්‍ර හැඟීමකිනි. 

“අන්තිම සැරේටත් ඔයාව හිතේ හැටියට  බලා ගන්න ටිකක් ඉඩ දෙන්න මනේෂ්”

         ඈ කඳුළු පිරි දෑස්  ඇතිව අහිංසක  සිනහවෙන්  මුව සරසාගෙන නිහඬතාව  බින්දාය. තවත් විනාඩි කිහිපයක් අප කතා නොකර සිටින්නට ඇත.

         “මං කොටි කෙල්ලක් මනේෂ්”

ඇගේ දෑස් කඳුළු ගංගාවක් පිට කරද්දී  ඈ පැවසුවාය.  
‍
“ෆ්‍රෙෂස්  ෆෙස්ට් දිනයේ වූ සිදුවීම මෙතරම්  ඈට බලපෑවේ කෙසේ දැයි මට සිතාගත නොහැකි විය.  ඈ දෙස  එදින වපරැසින් බැලූ සියලු දෙනා  කෙරෙහිම මගේ සිතේ වෛරයක් උපන්නේය.

“මං එල්ටීටීඊ බුද්ධි අංශයේ සාමාජිකාවක් මනේෂ්”

අනතුරුව  ඈ කී කතාවෙන් මගේ දෙළොව රත් විය.  මම පුදුමයෙන්  ඈ දෙස බලා සිටියෙමි.  ඈ එය කියා මගේ දෑසින් ඇගේ දෑස් ඉවතට ගත්තාය. මම ඈ සිටි බංකුව වෙතට  ගොස් ඈ ළඟින් ඉඳගෙන  ඇගේ මුහුණ  මා දෙසට හැරවීමට උත්සාහ කළෙමි.  නමුත් ඈ  එයට අවනත නොවූවාය.   ඈ මුහුණ දැඩි කර ගෙන බිම බලාගත් වනම සිටියාය.  අනතුරුව  ඈ මා බදා ගෙන ඇඬීමට පටන් ගත්තාය. මම හැඟීම් විරහිතව  බලා සිටියෙමි.  කුමක් කිව යුතු දැයි,  කුමක් කළ යුතු දැයි මට අව‍බෝධ නොවීය.  සැබැවින්ම  ඈ  පැවසූ දෙයහි අර්ථය කුමක් දැයි කියා හෝ මට හරිහැටි අවබෝධ ‍ නොවීය. 

“මම හැම දෙයක්ම කියන්නම් මනේෂ්”

ඈ කඳුළු පිස දමමින් පැවසුවාය.  ඈ  ප්‍රකෘති තත්ත්වයට පත් වීමට  තවත් සුළු වේලාවක් ගත විය.  අවසාන කඳුළු බිංදුවත් පිස  දැමූ ඇය කතාවට මුල පිරුවාය.

 “මගේ ඇත්ත නම වර්ෂා  සුබ්‍රමනියම්  නෙමේ මනේෂ්.  ඒක මට එල්ටීටීඊ එකෙන් දුන්න නම.  මගේ ඇත්ත නම දැන ගත්තා කියලා දැන් වැඩක් නෑ මනේෂ්.  මං ඔයාට කිව්ව විස්තර  ඔක්කොම බොරු.  මම ත්‍රිකුණාමලයේ නෙවෙයි. මගේ ගම යාපනය. නුගේගොඩ හිටියේ මගේ අක්කා නෙමේ.  ඒ එල්ටීටීඊ සාමාජිකාවක්. මට කාත් කවුරුත් නෑ. මට හිටියේ මගේ අහිංසක අසරණ අම්මා විතරයි.  මං  මේ හැම දෙයක්ම කළේ, මේ පවුකාර ජීවිතය තෝරා ගත්තේ  මගේ අහිංසක අම්මා වෙනුවෙන් මනේෂ්.  එයා හිටියේ එල්ටීටීඊ  එකේ අත්අඩංගුවේ.  මගේ අම්මා බේරා ගන්නයි මම මේ හැම දෙයක්ම කළේ මනේෂ්.”

ඈ  ඇගේ සිත සකසා ගැනීමට යම් කාලයක් ගත්තාය.  අනතුරුව යළිත් දොඩමළු වූවාය.

 “මීට  මාස හයකට විතර ඉස්සර  මායි, අම්මායි, තාත්තායි, මගේ නංගීයි,  මල්ලීයි  කිසිම කරදරයක් නැතුව  ජීවත් වුණේ හරිම සන්තෝෂෙන්.   දවසක් හදිසියේම හමුදා ඇඳුම් ඇඳ ගත් කට්ටියක්  අපේ ගෙදරට පැනලා මගේ තාත්තායි, නංගීයි, මල්ලීයි පණ පිටින් කපලා මැරුවා. එදා ඉඳන් මගේ මුළු ජීවිත‍යම වෙනස් වුණා.   ඒ වුණාට  එදා මම දැන ගත්තා ඒ ආවේ හමුදාවෙන් නෙමෙයි කියලා. ඒ එල්ටීටීඊ එකේ මිනිස්සුම තමයි.  උන්ගේ ඇස් අදටත් මට මතකයි.  මගේ අහිංසක තාත්තාවයි, නංගිවයි, මල්ලිවයි මැරුව පළිය කවදා හරි මම උන්ගෙන් ගන්නවා  කියලා මං  එදා දිවුරලා මගේ අම්මාට පොරොන්දු වුණා.   ඒකට  කාලය එන කල් තමයි මම ජීවත් වුණේ.  පස්සේ එල්ටීටීඊ  එකෙන් ඇවිත් මගේ අම්මවත් අරන් ගියා.  එතකොට තමයි උන් මොකක්ද කරන්නේ කියලා මට තේරුණේ. උන් අපේ ඔක්කොම විස්තර දැන ගෙන ඉඳලා තියෙන්නේ.   මං කොළඹ කැම්පස් සිලෙක්ට් වුණා කියලා දැන ගෙන තමයි හමුදාවෙන් වගේ ඇවිත් මගේ තාත්තාවයි,   නංගිවයි, මල්ලිවයි මරලා  පස්සේ අම්මාව අරගෙන ගිහින් තියෙන්නේ.  ඒ මාව එල්ටීටීඊ එකට බඳවාගෙන කොළඹ එවලා මගෙන් වැඩ ගන්න.  මාත් කිසි දෙයක් දන්නේ නෑ වගේ හරි ආසාවෙන් එල්ටීටීඊ එකට බැඳුණා.   ඒ ඊටත් වඩා  උන්ගෙන් පළිගන්න අවස්ථාවක් මට එන්නේ නැති නිසා.  උන්ගේ ප්ලෑන්  එක විධියටම  මම වැඩ කළා.   මාස දෙකක විතර පුහුණුවක් මට දුන්නා.  ඒ කාලයේ  සතියකට පැය දෙක තුනක්  මට අම්මා එක්ක ගත කරන්න අවස්ථාව දුන්නා.

මම කොළඹ ආව ගමන් උන්ගේ විස්තර සියල්ලක්ම හමුදාවට කියන්නයිමම හිටියේ. ඒත් මගේ අම්මා හින්දා ඒක මට ලේසියෙන් කරන්න බැරි වුණා.  මට කරන්න තිබුණේ කොළඹ ඇවිත් කැම්පස් යන ගමන් උන්ට ඕන කරන දේවල් ගැන හොයලා  බලලා විස්තර යවන එක. විශ්වාස කරන්න, මං කිසි වැදගත් විස්තරයක් උන්ට කිව්වෙ නෑ.  ඒකට තව කල්  ඕනෑ කියලා මං මඟ හැරියා.   ඒ වුණත් නුගේ‍ගොඩ ගෙදර මගේ අක්කා වාගේ හිටිය කෙනා හින්දා මට ටිකක් කරදර වුණා.  මගේ හැම වැඩක් ගැනම එයා  ඇහැ ගහගෙනයි හිටියේ.

උන්ගේ ප්ලෑන් එකට අනුව මම සිංහල පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන්න ඕනෑ. මට සමා වෙන්න මනේෂ්, ඒකට  මම ඔයාව  තෝරා ගත්තට.  හැබැයි  ඔයාට  මම ආදරය කළේ නම් බොරුවට නෙවෙයි.  මම ඇත්තටම ඔයාට  ආදරය කළා.  ඔයාව  මට හිමි නෑ කියලා දැන දැනත්  මම ඔයාට  ආදරය කළා. මනේෂ්  මට  දහස් වාරයක් සමා වෙන්න.   ඔයාට මෙච්චර දුක් දෙන්න වුණු එකට.

මම උන් කියන විධියට වැඩ කරනවාද බලන්න දවසක් ඔයාව  නුගේගොඩ ගෙදරට එක්කර ගෙන එන්න කිව්වා. එදා ඔයාව මං හිටිය තැනට  එක්කර ගෙන ගියේ  දහස් වාරයක් මටම ශාප කර ගන්නා ගමන්.  ඒත් මගේ අම්මාව ආරක්ෂා කර ගන්න ඕනෑ හින්දා උන්ගේ විශ්වාසය  දිනා ගැනීම මට වැදගත් වුණා.  එදා ෆ්‍රෙෂස්  ෆෙස්ට් දවසේ   රෑ මට හිතුණා මං  කොච්චර  ආත්මාර්ථකාමීද  කියලා.   මගේ අම්මව රැක ගන්න මං කී දෙනෙක්ව ඇපයට තියනවාද  කියලා මට හිතුණා.  මං  එදා රෑ ඔයාට නුගේගොඩ  ගෙදර නවතින්න කිව්වේ  මේ ඔක්කොම ඔයාට කියන්න.  එදා රෑ එල්ටීටීඊ  ගෑනි  ගෙදර  හිටියේ නෑ.  ඒත් ඔයා ඒකට  කැමැති නැති වු‍ණ  හින්දායි ඔයාට උදේම  කැම්පස් එන්න කිව්වේ. ඒ  උදේටවත් මේවා ගැන ඔක්කොම විස්තර කියලා මං පොලීසියට භාර වෙනවා කියලා හිතා ගෙන.  ඒත් මට එදා උදේ  ඒක කර ගන්න බැරි වුණා මනේෂ්.  මට මගේ අසරණ අමමාව  මැවි මැවී පෙනුණා. ඔයාත් එක්ක එදා කතා කරපු  දේවල්වලින් මං දාස් වාරයක් මැරි මැරී ඉපදුණා මනේෂ්.  මං මොන තරම්   පවුකාරියක්ද කියලා මට හිතුණා.  එදායින් පස්සේ ආයෙමත්  ඔයාගේ මූණ බලන්න මට   පුළුවන්කමක් තිබුණේ  නෑ මනේෂ්.

ඊට  පස්සේ  මම ආයෙමත් කැම්පස් ආවේ නෑ.  මාත් එක්ක නැවතිලා හිටිය  එල්ටීටීඊ  ගෑනි   මට පුදුම විදිහට වද දුන්නා.  මං ඒ ඔක්කොම ඉවසා ගෙන  හිටියා.   ඒත් මං  ආයෙ කැම්පස් ගියේ නැත්තං  මට ආයෙමත් මගේ අම්මාව පණ පිටින් දැක ගන්න ලැබෙන එකක් නෑ කිව්වා. මගේ අම්මාට තියෙන  ආදරේට  මම ආයෙමත් දවසක්  කැම්පස්  ආවා.  එදා ඔයා මා ළඟට  ආවාම   මට කර ගන්න දෙයක් තිබ්බෙ  නෑ මහේෂ්.  එදා  මම ඔයා ළඟින් දුව ගෙන ගියේ  මේක ඉවරයක් කරනවා කියලා හිතා ගෙන. එදාම  මට දැන ගන්න හම්බ වුණා අම්මා නැති වුණාය කියලා.  ඒත් උන් මට ඒක කිව්වෙ නෑ.  එහේ  මගේ යාළුවෙක් මාර්ගයෙන් තමයි මං ඒක දැන ගත්තේ.  අම්මා ගොඩාක් දුක් විඳලා තමයි නැති වෙලා තියෙන්නේ මනේෂ්.  මට මගේ අම්මා‍ගේ මළ ගමටවත් යන්න බැරි වුණා.  උන්  කොහේ හරි කැලෑවක ගිහින් දාන්න ඇති අම්මාගේ මිනිය.  ඊට පස්සේ උන්ට ඕනෑ වුණා, තාමත් මම ඉන්නේ උන් එක්කද කියලා දැන ගන්න.  මං තාමත් ඉ‍න්නේ උන් එක්ක කියලා මම ඇ‍ඟෙව්වා.    ඊට පස්සේ කොළඹ ඇවිත් තමයි මං  ඔයාට පොඩි ලියුමක් එව්වේ.   මගේ අම්මා නැති වුණායින් පස්සේ  මට උන්ව රකින්න කිසිම  හේතුවක් තිබුණේ නැහැ.   ඒ වාගේම  අම්මා නැති වුණාට පස්සේ  මේ ජීවිතේට මගේ කිසිම ආසාවක් තිබ්බෙත් නෑ. මගේ පවුලෙ  අයව මැරුව  පළිය ගන්නයි  ඊට  පස්සේ මට ඕනෑ වුණේ.  ඊට පස්සේ නිර්නාමිකව සැරෙන්  සැරේ හමුදාවට පොලිසියට  කෝල් කරලා මං දන්න දේවල්  ටික ටික කිව්වා.  උන්ටත්   මං ගැන   අවිශ්වාසයක් ඇති නොවන විදියට  බොරු විස්තර දුන්නා.  ඒත් ඒ වැඩේ ගොඩක් දුරට කර ‍ගෙන යන්න  මට බැරි වුණා.  උන්ට  මං ගැන සැක හිතුණා.  කොහොම හරි  මගේ වැඩ ගැන   දැන ගන්න ඇති.  අද උදේ මාව  අල්ලා ගන්න දෙන්නෙක් එද්දී   මං උන්ට හොරෙන් පැන ගත්තා. පස්සෙ මං දන්න ඔක්කොම විස්තර මං පොලිසියට කෝල් කරලා  කිව්වා. දැන් මගේ හිත නිදහස්. මට  තියෙන ලොකුම  දුක  මං ඔයාට කරපු දේ මනේෂ්”

ඇය කතා කරද්දී මම කිසිවක් නොකියා අසා සිටියෙමි.  මෙය සිහිනයක්දෝයි මට සිතුණි.  සැබැවින්ම මම කෝමා රෝගියෙකුට සමාන  විය.  මට ඇසිණි; දැනිණි. නමුත් කතා කිරීමටවත්  කිසිම අයුරකින් ප්‍රතිචාර දැක්වීමකටවත් අපොහසත් වුණි.  ඇගේ ආදරය මට අහිමි වීමට යන බවක්  දැනුණු නිසාවෙන්  මගේ හදවත  මහා පීඩනයකට ලක්ව සිර විය.  මට හුස්ම ගැනීමට පවා අපහසු විය. මගේ හිස පුපුරන්නට යන බවක් මට දැනුණි. 

“අපි මේ ඔක්කොම  දාලා කොහේ හරි ඈතක  යමු වර්ෂා”

අවසානයේ   බොහොම අපහසුවෙන් ඇගේ දෑත් අල්ලා ගනිමින් මම කීවෙමි. එය අසා ඇය සිනාසුනාය, මා දෙස අනුකම්පා සහගත අයුරින් බැලුවාය.

“ඔයාට මතකද මනේෂ්, එදා  ෆ්‍රෙෂස්  ෆෙස්ට්  දවසට පස්සෙ දවසේ උදේ මං ඔයාගෙන්  ඕකම ඇහුවා.  එතකොට ඔයා කිව්වා, ‘ළාමක කෙල්ලක් කියන හරි බොළඳ කතාවක් නෙ’  ඒක කියලා.  එදා  ඇත්තටම මට ඕනෑ වුණේ මේ ඔක්කොම දාලා   ඔයා එක්ක කොහෙ හරි ඈතක ගිහින් ජීවත් වෙන්න. මොනා වුණත් මට ඔයාගේ ආදරය තියෙනවා නේද කියලායි මට හිතුණේ.  ඒත් එහෙම ආත්මාර්ථකාමී විධියට මං  ගැන   හිතන එක වැරදියි නේද කියලා මට පස්සේ හිතුණා.  මං කවුද? ඔයා කවුද? මේ මුකුත් නොදන්නා ඔයාගේ වටිනා ජීවිතය  විනාශ කරන්න මට අයිතියක් නෑ කියලා මගේ හිත මටම දොස් කිව්වා.  පස්සෙ මං මගේ අදහස් වෙනස් කළා.  ඇරත් දැන් ඒකට හොඳටම පරක්කු වැඩියි මනේෂ්.  තව ටිකකින් ඒ ඇයි කියලා ඔයාට තේරෙයි.”



ඇය මගේ දෑත් තද කරමින් පවසද්දිම අප ෆැකල්ටියට පොලිස් ජිප් රථයක් පැමිණියේය. ඈ සියල්ල  ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කර ඇත.  මම ඈ දෙස බැලුවෙමි. ඈ සිනාසුණාය.  මගේ ආදරණීය  වර්ෂා මට අහිමි වී යයි.  මට ක්ලාන්ත ගතියක් දැනිණි. 

“ඉතින් මට යන්න අවසරයි මනේෂ්.  මං ඔයාට ගොඩාක් ආදරෙයි. මං මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි.  ඒක ළාමක කෙල්ලක් කියන බොළඳ කථාවක් කියලා හිතන්න එපා මනේෂ්. මම ඔයාට ආද‍රය කළේ බොරුවටනෙමේ.  මාව අමතක කරන්න එපා කියලා  ඔයාගෙන් ඉල්ලන්න තරම් මං වාසනාවන්ත නෑ මනේෂ්.  තවත් ආත්මෙක  අපිව  ආයෙ  හමු වේවි.  එතකොට නම් මම ඔයාගේ  ළඟටම වෙලා  ඉන්නවා සත්තයි.  එතකල්   ඔයා මාව අමතක කරන්න මනේෂ්. ඔයාට කවදාවත් වරදින්නේ නෑ.  ප්ලීස්... ඔයා මාව අමතක කරන්න. නැත්නම් මගේ ආත්මෙටවත් කවදාවත් සැනසීමක්  නැති වේවි.  වෙනදා වගේ ගිහිං එන්නම් කියන්න මට පුළුවන්කමක් නෑ. මං යන්නම් මනේෂ්. ආයෙ නොඑන්නම  මම යනවා. පුළුවන් නම් මට සමාව දෙන්න. පුළුවන් නම් එකම එක සැරයක් මාත්  එක්ක තරහා නෑ කියලා විතරක් කියන්න මනේෂ්...”

ඇය මගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටියාය.  නමුත් මට කිසිවක් කියා ගත නොහැකි විය.  මගෙන් ප්‍රතිචාරයක්  නොමැති කල  ඈ මගේ දෑත් සිඹ යන්නට හැරුණාය.  මට ඉබේම නැගිට්ටවුණි.  ඈට  කිසිම අයුරකින්වත් ප්‍රතිචාර දැක්වීමටමම අපොහොසත් වූයෙමි. මගේ දෑස් බොඳ විය.  මුළු සරසවියම  මා වටා කැරකුණේය. ඈ  පොලිස් ජිප් රථය  වෙත ගොස් හැරී මා දෙස බලා සිනාසුණාය.  මා කවදත් ප්‍රිය කළ  ඇගේ ඒ අහිංසක ලස්සනම ලස්සන  සිනහව ඒ  වේලෙහි ඇගේ මුහුණේ සිත්තම් වී තිබුණි.  එය  සැමදා මගේ කර ගැනීමටය මා උත්සාහ  දැරුවේ.

ඈ පොලිස් ජිප් රථයට නඟිද්දී මා බංකුවට ඇද වැටුණි. පොලිස් ජිප් රථය ෆැකල්ටියෙන් යන අයුරු මා බොඳ වූ දෑසින් බලා සිටිද්දී බතා හා ඩෝරා  මා වෙත දිව  ආහ.

මගේ ආදරණීය වර්ෂා මගෙන් වෙන්ව ගියාය.  යළිත් කිසිදු දිනක මට ඈ යළි හමු නොවනු ඇත.  ඇගේ සෙනෙහෙබර  ඇසුර  මට නැවත නොලැබෙනු ඇත. “ආදරෙයි” නොකියා පටන් ගත් ආදරයක් “ආදරෙයි”කී දවසෙම මියැදුණේය. මගේ ප්‍රථම ආදරයලත් තැනදිම ලොප් වනු ඇතැයි මම සිහිනෙකුදු  නොසිතුවෙමි. මට  මා ගැන කලකිරීමක් ඇති විණි. ඇය දෙස බලා  එක වරක් “මං  ඔයාත් එක්ක තරහා  නෑ වර්ෂා” යැයි කීමට තරම් මට නොහැකි වූයේ මන්ද?

ඇය නොමැතිව, ඈ නිසාවෙන් පිබිදුණු මා තුළ වූ සොඳුරු  හිතවාදියා හෙට දිනයේදී මියැදෙනු ඇත.  මා පෙර ලෙසම හුදකලා වෙනු ඇත.
නමුත් ඈ සමඟ ගෙවූ සොඳුරු   මතකය කිසිදා   මා කෙරෙන් ඈත් නොවෙනු ඇත. ඇගේ ආදරයද,  මා සැමදා ඇලුම් කළ  ඇගේ හිස රැඳි  පිච්ච මල් දම්වලින් හැමූ ඉමිහිරි  සුවඳ වැනිය;  සැබෑ ලෝකයේ  මා ළඟ නොවූවත් සිතින් සැම දා මා ළඟය.

දහසක් මිනිසුන් හමු  වෙමින් වෙන් වෙනා,   වෙන් වෙමින් හමු වෙනා අප මේ ජීවිතය තුළ කවදා  හෝ දවසකදී අලුත් බලාපොරොත්තු ගොන්නක්  තුරුළු කොට ගෙන ඇය මට යළි මුණ ගැසෙනු ඇත.  ඒ දිනය  කෙසේ කවදා දිනක උදා වේදැයි  මම මඟ බලා හිඳින්නෙමි.  


මා දෑස වසාලා - නුඹේ  ඔය දෑතින්ම
මවා මා ඉදිරියෙහි
සුන්දරම  වූ ලොවක් ...

පියාපත් සෙවූ මට - පියාඹනු කියා දී
ඈත දුර අහස් කුස
කුණාටුව අභිමුවේ මා අතැර හැර දමා
නුඹ  ඈත දුර ගිහින්

නෙත නුඹව සොයන විට
නුඹ බොහෝ දුර ‍ඈත
පුංචිම පුංචි තිතක්

එහෙත් නුඹ එනතුරා
මඟ බලා හිඳිනවා
නුඹට පෙම් කළ සිතක්...

ගිම්හාන වර්ෂා - මෙතකින් අවසන්............

















'ගිම්හාන වර්ෂා' දින කිහිපයක වෑයමකින් පසු මුද්‍රණද්වාරයෙන් පිට වූ කෙටි නව කතාවකි. එය වැඩි පිරිසක් වෙත යැවීම සඳහා මෙසේ බ්ලොග් ගත කරන ලදි. 

‘සුදසුන් ඉසව්ව’ මාගේ පළමු කෘතිය වෙනුවෙන් මම අදටත් ප්‍රතිචාර ලබමි. එය කියැවූවෝ  තවත් පොතක්  නොලියන්නේ මන්දැයි මගෙන් විමසූහ. ‘ගිම්හාන වර්ෂා’ කෙටි නවකතාව එහි ප්‍රතිඵලයයි.

මා මෙය ලියමින් සිටියදී  මෙහි අත් පිටපත කියැ වූ  මා සුමිතුරු හසිත් ගුණසේකර  මේ වෙනුවෙන් ගේය  පද සංකල්පනාවක් ඉදිරිපත් කළ  අතර ඒ සඳහා සුමිතුරු ෂෙහාන් කෞෂල්‍ය  අපූරු තනුවක් යොදා ගීතයක් නිර්මාණය කළේය.  එය ගිම්හාන වර්ෂා ගීතයේ විකාශනයයි. 

ගිම්හාන වර්ෂා ගීතය  http://www.youtube.com/watch?v=fZN7qwSSbE4

ගිම්හාන වර්ෂා facebook page http://www.facebook.com/pages/Gimhana-Warsha/115420305207188?ref=ts&fref=ts

මේ පිළිබඳ ඔබගේ අදහස් ඉතා අගේ කොට සළකමි.

Friday, November 2, 2012

ගිම්හාන වර්ෂා - දොළොස්වන දිගහැරුම


යා නොහැක මට
අතර මඟ හැර දමා
“ජීවිතය”
කුළුදුලේ සොයා ගත්

අවදි වනු නොහැක මට
අතර මඟ දමා
“සුබ සිහින”
නුඹ නමින්  මවා ගත්

මකාලනු  නොහැක මට
මතක සිතුවම් පොතෙන්
“සොඳුරු බව”
නුඹ සමඟ බෙදා ගත්

ඉඩක් දිය නොහැක මට
හදවතට එබෙන්නට
“තනිකමට”
නුඹ මගේමයි තවත් 


















මම ඔබට කතාවක් කිව්වෙමි.  නමුත් මගේ කථාව ඇරඹෙන්නේ මෙතැන් සිටය.

            මම ස්වභාවයෙන්ම  ඒ තරම් ප්‍රියජනක  පුද්ගලයකු  නොවීමි.  ඒ නිසාවෙන් යහළුවන් යැයි බොහොමයක්  මා වටා  සිටියේ නැත.  සිටි  යහළුවන් සමඟත් මිත්‍රශීලි  සුහද  ආශ්‍රයක් ඇති කර ගැනීමට  මා අපොහොසත් වුණිමි.  එබැවින්ම මා බොහෝ විට තනිකමින්  හා පාළුවෙන් කල් ගෙව්වෙමි.  මගේ ජීවිතය නීරස  එකක් විය.  මට කිසි අරමුණක්   තිබුණේ  නැත; බොහෝ සිහිනයන් තිබුණේද නැත. මගේ  ජීවිතය ඔහේ ගලා ගෙන ගිය එකක් විය.   නමුත් මම අධ්‍යයන කටයුතුවල ඉතා උනන්දුවෙන් නිරත වූයෙමි.  එයින් මගේ තනිකම, පාළුව  ඇතැම් විට මැකී ගියේය.   එහි ප්‍රතිඵලයක්  ලෙස  සරසවි වරම්  හිමි කර ගැනීමට  මට හැකියාවක් ලැබුණි.

            සරසවි  ජීවිතය මා වෙනස් කරනු ඇතැයි යන්න මගේ ඒකායන බලාපොරොත්තුව විය. සරසවිය මගේ දිවියට  නව ජීවයක්, නව රිද්මයක් එක් කරනු ඇතැයි මම  සිතුවෙමි.  ඒ වෙනුවෙන්   මා ප්‍රාර්ථනා කළෙමි.   නමුත් සරසවියට  ඇතුළු  වීමත් සමඟ මගේ තත්ත්වය  කබලෙන් ළිපට ඇද  වැටීමකට  සමාන විය.  මා උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගත් විෂය ධාරාවන් හරහා  ලබන සරසවි අධ්‍යාපනය විසින් මා  අතරමං කරනු ලැබීය;  ජීවිතයේ දෙවරක්  නොලැබෙන අවස්ථාවක් මඟින් මා තවත් අසරණ කරනු ලැබීය.  මට හැරීමට   වෙනත් මඟක් නොපෙනුණි.  බතා හා ඩෝරා යන සුහද මිත්‍රයන් දෙදෙනා   හැරෙන්නට   වෙනත් කිසිදු  ප්‍රියජනක  දෙයක් සරසවි ජීවිතය තුළ මට නොවිණි.  මම දේශන සඳහා  සහභාගි නොවූයෙමි; අතරමංව හුදකලාව කල් ගෙවුවෙමි. 

            එවන් තත්ත්වයක මා සිටියදීය,  වර්ෂා සුබ්‍රමනියම් නම් වූ ඒ සොඳුරු යෞවනිය මට මුණ ගැසුණේ.  ඈ මගේ ජීවිතයට   ආලෝකයක් වූවාය;  නව රිද්මයක්  එක් කළාය.  ඈ නිසාවෙන් මම  ආදරය කළෙමි; ආදරය ලැබුවෙමි; ආදරය වින්දෙමි.  ඈ හා ඇසුර  මා සොඳුරු   පුද්ගලයකු  බවට පත් කළේය.  මම ජීවිතය වින්දෙමි.  කොතරම්ද  යත් මා නැවත උත්ථානය ලද්දේ යැයි කිවහොත් නිවැරදිය. 

            නමුත්  හිටි හැටියේ හීනෙන්වත්   නොසිතූ  අයුරින් මගේ ජීවිතය වෙනස් විය.  ඒ වර්ෂාගේ  වෙනස් වීම හේතුවෙනි.  ‘ෆ්‍රෙෂස්  ෆෙස්ට්’  දිනයේදී  කොළඹට  එල්ල වූ ත්‍රස්ත  ගුවන් ප්‍රහාරය   ඇගේ මේ වෙනස් වීමට මුල් විය.  නමුත් එම සිදුවීම ඈව  මෙතරම් වෙනස් වීමකට  භාජනය කළේ කෙලෙසද යන්න   මට  සිතා ගත නොහැකිය.  මා නොසිතූ අයුරින් ඈ මා  මඟ හැරියාය. වෙනදාට මා එනතුරු සරසවියේ අප පීඨයේ  රූස්ස ගස් යට  බංකුවක   හිඳගෙන මඟ බලා සිටින වර්ෂා  මා යන විට එහි නොසිටියාය.  ඈ  මා තනිකර  දමා දේශනවලට  සහභාගි වූවාය.  මා ඈ හමුවීමට උත්සාහ ගන්නා  සෑම අවස්ථාවකම,  ඈ මා මඟ හැරියාය.  ඈ  ඒ සඳහා මට කිසිදු  හේතුවක්  නොදැක්වූවාය.   එපමණක් නොව ඇගේ සරසවි  ගමනද ටිකෙන් ටික  අඩාල විය.  ඇතැම්  විට ඈ සතියක් දෙකක්   එක දිගට සරසවි  පැමිණියේ නැත.

            ඉමක් කොනක් නොපෙනෙන  මහ කතරක  අතරමංව  සිටි  මට  පා තැබිය යුතු මඟ  කියා දුන් වර්ෂාම, මහ කතරේ  මා හට  ක්ෂේම භූමියක් වූ වර්ෂාම,  නැවතත් මා එහි මඟක් සොයා ගත නොහැකි ලෙසින්  අතරමං  කරවන ලදි.  මම  දහස් වාරයක් සිතින්   හඬා වැටුණෙමි. හැඟීම්වලදී  ප්‍රඥාවන්තයින්ද මෝඩයන් වන කල  මා ගැන කවර කථාද?  බතා හා ඩෝරා  මා සැනසවීමට  උත්සාහ කළද ඒ සියලු ‍ප්‍රයත්නයන් ගිලෙමින් සිටි මට පිදුරු  ගස්  දික් කිරීමක් විය. 

            සති කිහිපයකින් පසු එක් දිනක්  හදිසියේ  වර්ෂා  සරසවියේ පෙනී සිටියාය. ඈ දැකීමෙන් මට උන් හිටි තැන් අමතක විය.  බතා හා ඩෝරා  සමඟ රූස්ස  ගස් යට බංකුවක   හිඳගෙන සිටි  මම  ඔවුන් දමා වර්ෂා වෙත දිව ගියෙමි.  මා ඈ වෙත ගොස් ඇගේ අතකින් ඇද්දෙමි.  එවිටය  ඈ මා දුටු‍වේ.  එවිටය  ඇගේ මුහුණ මා දුටුවේ.

            ඇගේ සුන්දර මුහුණ මලානිකව  ඇදී ගොස් තිබිණි.   ඇගේ චිත්ත සංවේගය පෙන්වන කැඩපත ඇගේ මුහුණය.   ඈ  මා දැකීමෙන් බිය වූවාද,  පුදුම  වූවාද, නැත්නම් දුක් වූවාදැයි මට සිතාගත නොහැකි විය.  ඇගේ මුහුණෙන් නිරවුල් හැඟීමක් ප්‍රකාශ කිරීමට   ඈ අපොහොසත් වූවාය.  නමුත් ඇගේ  දෑස් කථා කළේය.  ඒවා කඳුළු උල්පත් වෙද්දී ඈ මා වෙතින් දිව ගියාය.  ඈව තේරුම් ගත නොහැකි වූ මා ඈ දිව යන අන්දම බලා සිටියෙමි.

            ඉන් පසු ඇය කැම්පස් ආවා දැයි මම නොදනිමි.  ඒ එතැන් පටන් මා එහි නොගිය නිසාවෙනි.  බතා හා ඩෝරා අප නිවසට පැමිණ  මගේ දුක සැප බලා ගියෝය.  මම කැම්පස්   නොගියේ ඒ රූස්ස ගස් යට බංකු දකිද්දී මා ඈත් සමඟ කථා කළ  ඒ සුන්දර දෑ මතක් වෙන නිසාවෙනි; ෆැකල්ටිය  වෙත යද්දී මා ඈත් සමඟ එකට  එහි මල් බකට් වූ අයුරු සිහි වන නිසාවෙනි;  ලෙක්චර් හෝල්ස්  දකිද්දී  මා ඈත් සමඟ එකට එහි ගිය අයුරු සිහි වන නිසාවෙනි. සරසවියේ සියලු දෑ ඈ මට  සිහි ගැන්වීය.  සරසවියේ  සියලු දෑත් සමඟ  ඇගේ මතකයන් ගැබ්ව තිබුණි.  ඒ සියලු දෑ  මට ඈ සිහි කරමින්  මා  හඬා වැට්ටවීමට සමත් වූයේය.

            මම කැම්පස් ගොස්  මාගේ අධ්‍යයන කටයුතුවල නිරත වීමට සිත හදා ගත්තෙමි.  වර්ෂාගේ  මතකයෙන්  පලා යෑම වෙනුවට  එය විඳීමට  මට අවශ්‍ය විය.  සැබැවින්ම  එය සිත් වේදනා ගෙන දෙන්නකි.  මම එම සිත් වේදනාව මහත් ඕනෑකමකින් වින්දෙමි. 

            මා සරසවි  ගිය පසු දැනගත්තේ වර්ෂා ද   එදා මා දැක දිව  ගිය දවසේ සිට සරසවි නොපැමිණි බවයි.  ඈට කුමක් වුණි දැයි මම නොදනිමි.  ඇගේ ගෙදර   දුරකථනයද ක්‍රියා විරහිතව තිබුණි. නුගේගොඩ   පිහිටි ඇගේ සොයුරියගේ  නිවසට මා දෙතුන් වතාවක් ගියත් ඒ සැම විටම  එම නිවසේ දොර  වැසී තිබුණේය.   අසල්වැසියන් මාර්ගයෙන්ද යමක් දැන ගැනීමට   නොහැකි විය. ඔවුහුද  වර්ෂලා  ගැන මට වඩා වැඩි යමක් නොදැන  සිටියහ. 

            දිනක් හදිසියේ මට ලියුමක් ආවේය.  එය  මගේ නමට තැපැල් කර තිබුණේ  වර්ෂාගේ අත් අකුරින් බව දුටු වෙලේ මගේ අත් සැලිණි.  ලියුම්  කවරය විවෘත කිරීමත් මට  අසීරු කරුණකි.  වර්ෂා එහි ලියා තිබූ දෑ මා සිත ව්‍යාකූල කර වීය.

























මීළඟට .......... ගිම්හාන වර්ෂා අවසාන කොටස........