බලාපොරොත්තුව - තබා ගෙන හිත තුළ
තුවක්කුව - දරාගෙන අත මත
මරා දමමින් අමනුෂ්‍යත්වය
ඉදිරියට යන මනුෂ්‍යත්වය
මහ වැස්ස ඉවසා
ගණ අව්ව
නොතකා
කුසට අහරක් - ගතට සිසිලක්
නොසොයනා හින්දා
ලක් මවු ගෙලේහි
මුතු පොටක් බැන්දා
රැගෙන ආ කිසිවක් නැති
රැගෙන යන කිසිවක් නැති
එහෙත් ලක් අම්මගේ නාමේ
ලේ ගැලූ හන්දා
සියක් දහසක් දනන් එක ලෙස
නුඹේ නාමය වැන්දා
වර්ෂා ඒමට පරක්කු වූ දිනක මා ඇය එනතුරු රූස්ස ගස් යට බැංකුවකට වී බලා
සිටිද්දී බතා හා ඩෝරා මා වෙත ආහ. වර්ෂා ව මුණ ගැසීමට පෙර මා උදෑසන
සරසවියට පැමිණ මෙහි සිට බලා සිටිනුයේ මොවුන් එනතුරුය. නමුත් එකම තැන දවසේ
එකම වේලාවක එදා ඔවුන්
එනතුරු බලා සිටි මම අද ඈ එනතුරු බලා සිටිමි. වර්ෂාගේ ආශ්‍රයත් සමඟ මට ඩෝරා හා බතා මිත්‍ර සමාගමට ඉඩකඩ අඩු වූ බව නම් සැබෑවය. මම ඔවුන්ව අමතක
නොකළෙමි. නමුත් ඔවුන්
සිතා සිටින අයුරු මට සිතා ගත
නොහැකිය. බතා හා
ඩෝරා මා ළඟට එන විට මම සිනහවකින් ඔවුන්ව පිළිගතිමි. ඒ සිනාවෙහි මටත් නොදැනුවත්ව වරදක් කළ අයකු
එයට සමාව අයදින ස්වරූපයක් ගැබ් වුණි. එය නැවත
හදා ගැනීමට මම නොවෙහෙසුණෙමි. යුද්ධය හා
ආදරය යන ද්විත්වයෙහි සියලු දෙයක්ම සාධාරණ වෙන කල්හි වර්ෂා වෙනුවෙන් මගේ කලණ මිතුරන් දෙදෙනා මා ඉවසුවා වේ. කෙසේ
නමුත් අද වර්ෂා පරක්කු වීම ගැනත්
ඒ වෙනුවට බතා හා ඩෝරා එම අඩුව
පිරවීමට පැමිණීම ගැනත් මම සතුටු වෙමි.
“ආ, මස්සිනා මොකද අද
තනියම?”
බතා බංකුවේ දකුණු පැත්තෙහි
හිඳ ගනිමින් ඇසුවේය.
“තාම
තංගච්චි පේන්න නැති හින්දායි අපි ආවේ”
ඩෝරා බංකුවේ වම් පැත්තෙහි හිඳ මගේ
උරහිසට අතක් දමමින් කීවේය.
“උඹලා දැන් ඉතින්
අපිව හම්බ වෙන්නවත් එන්නේ නෑ නේද?”
මම වරද ඔවුන් පිට පැටව්වෙමි.
“ අනේ
මහත්තයෝ මේ, අපි නිකම් උදලු දාන්න හරි නැති හින්දායි පැත්තකට වෙලා ඉන්නෙ. අනික ඉතිං අපි
කියලත් මොනව හරි දෙයක් කර ගන්න එපැයැ. ඒක හින්දා
පැත්තකට වෙලා අපේ පාඩුවේ ඇහැක් දා
ගෙන ඉන්නවා.”
බතාගේ කියමනට ඩෝරාද
සිය අනුමැතිය ලබා දුනි.
දැන්
ඉතින් ඔරලෝසු කටුව නැවතිලාම
තිබුණාවේ. මට මගේ සුමිතුරන් සමඟ කතා කිරීමට දහසක් දේ ඇත.
“මට දැන් කැම්පස්
එක එපා වෙලා තියෙන්නේ බං. උතුරු නැඟෙනහිර අපේ හමුදාවේ
කොල්ලෝ දිවි පරදුවට තියලා සටන් කරනවා. අපිටත් වඩා පොඩි උන් අපේ රට රැක ගන්න ගිහින් ඉද්දි අපි මෙහේ ඉඳන් මොනාද කරන්නේ කියලා හිතෙනවා බං”
ඩෝරා
සංවාදයකට ප්‍රවේශයක් ගත්තේය.
“එහෙම හිතන්න එපා බං. මෙහෙට එන්න හම්බ වෙන්නේ කීයෙන් කී දෙනාටද? උඹට මෙහෙ ආපු හින්දා තව එකෙක්ට කැම්පස් එන්න තිබ්බ
අවස්ථාව නැති වුණා කියලා විතරක් අමතක කරන්න එපා කළුවා. නැද්ද මචං?”
බතා
ඩෝරාට කිව්වෙ එයට මගෙන්ද යමක් බලාපොරොත්තුවෙනි.
“ඔව්, ඔව්. හම්බ වුණ
අවස්ථාව අත්අරින්න එපා මචං. මේ අවුරුදු හතර ඉවර වෙලා
උඹට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන්
වෙයි.”
මම බතාට සහයෝගය දැක් වූයෙමි.
“අනේ පලයං බං.
උඹ නම් යයි දැන් මේක
දාලා. අපිට
මතකනේ ඉතින් වර්ෂාව හම්බ වෙන්න
කලින් ඔය මහත්තයා හිටිය හැටි”
ඩෝරා බතා මෙන්ම මාවද සිනහ ගැස්සුවේය.
“පොඩ්ඩක් හිතපං පොළඟා, බතා. අපිට කොච්චර
බැඳීම් තිබෙනවාද? අපි කැමැති වෙයිද ඒ බැඳීම් දාලා යන්න? තමන්ගේ ජීවිතේ පරදුවට තියන්නද? ඒත් එහෙම කරන කට්ටියක් ඉන්නවා මචං. ඒ කට්ටිය දිවා රෑ
නොබලා තමන්ගේ මව්බිම දිවිහිමියෙන්
රකිනවා. එහෙම උත්තම මිනිස්සු එක්ක බලද්දි අපි මොනාද මේ කරන්නේ කියලා මට හිතෙනවා”
“ඒත් මං යුද්ධෙට කැමැති නෑ මචං”
බතාගේ කතාවට ඩෝර සිනා විය.
“යුද්දෙට මං කැමැතිත් නෑ මචං. තුවක්කුවක් අරන් සටන් බිමට යන කවුරුත් යුද්ධෙට කැමැති නෑ. නමුත් ඒ ක්‍රියාව
නොකරන්න අද උඹලාට මට මෙහෙම කතා කරන්න පරිසරයක් ඉතුරු වෙලා තියෙන
එකක් නෑ”
“ඉතින් ඇයි ඕකට
දේශපාලන විසඳුමක් කරා යන්න බැරි?”
මෙවර
බතාගේ කතාවට ඩෝරා වඩාත් අවඥා සහගත
ලෙස සිනා විය.
“මං
පොඩි කථාවක් කියන්නම් උඹලා දෙන්නට. හොඳට අහ ගනින්. ඔන්න එකමත් එක දෙමළ ගමක පුංචි දෙමළ ළමයෙක් උදේ පාන්දර ඉස්කෝලේ
යනවා. ඒ අතර පාරට
පැනපු කළු ඇඳ ගත්තු මිනිස්සු වගයක් ඔය ළමයාව උස්සාගෙන ගිහින් කඳවුරකට දමනවා. ඒ කඳවුරේ ඉන්නවා, තවත් ඒ වගේ දෙමළ ළමයින් සිය ගණනක්. ඒ ඔක්කොම මේ ළමයා
වගේම බලහත්කාරයෙන් උස්සාගෙන ආව අය. ඊට පස්සේ මේ ළමයින්ට
පෙන්වනවා බෲස් ලීගේ වාගේ හොඳ ඇක්ෂන් ෆිල්ම්ස් ටිකක්. ඕවා
බැලුවාම අපිටත් පොඩි කික් එකක් එනවා නේ. ඒත් එක්කම පෙන්වනවා, සිංහල හමුදාව
දෙමළ ගම්මාන විනාශ කරනවා කියලා උන් කියන වීඩියෝ පටි ටිකක්. ඇත්තටම ඒ සිංහල හමුදාව නොවෙයි, ඒවා
කරන්නෙත් කොටිමයි. නමුත් ඇත්ත තත්ත්වය ළමයි දන්නේ නෑ. ඒවා දකින අහිංසක ළමා සිත්වල “සිංහලයා” කෙරෙහි කෝප සහගත විෂබීජය පැළ වෙනවා. එතැනිනුයි
කොටින්ගේ ළමා සොල්දාදු පුහුණුව
ඇරඹෙන්නේ. ඊට පස්සේ ටිකින්
ටික ළමා මනසට “සිංහලයාට” එරෙහි විෂබීජය දානවා. ඒ ළමයින්ට උගන්වන්න
අපේ රට ගැන කියැවෙන උන්ම හදා ගත්ත උන්ගෙම ඉතිහාස පොත් තියෙනවා. ඒ ඉතිහාස
පොත්වලට අනුව අපේ රටේ ඉඳලා තියෙන්නේ
දමිළ සම්භවයක්ලු. ඒ ඉතිහාසයට අනුව බුදු හාමුදුරුවෝ කියන්නේ ආර්ය චක්‍රවර්ති කියලා ආක්‍රමණිකයෙක්. ආර්යචක්රවර්ති
ලංකාවට ඇවිත් දෙමළුන්ව පන්නලා ආර්යයන්ව පදිංචි
කරලා ගියාලු. ඒ අයිතිය නැවත ගන්න ඕනෙලු. ඒ විතරක් නෙමෙයි
කාශ්‍යප කියන්නේ කාස්සප්පා කියලා දෙමළ රජ කෙනෙක් ලු. මේ විදිහට උන් කොටි
ඉතිහාසයක් ලියලා තියෙන්නේ.
හයක් හතරක්
නොතේරෙන අසරණ ළමයි
ඒවා හොඳින් ග්‍රහණය කර ගන්නවා.
මේ ට්‍රේනින් එක පටන් ගද්දි
ළමයින්ට දෙනවා හා පැටියෙක් හදන්න. ට්‍රේනින් එක පුරාවටම
හාවාව ආදරයෙන් හදන්න ඕනෑ. අන්තිමටම කියනවා, හාවා
සිංහලයෙක් කියලා හිතලා හාවාව මරන්න කියලා. ට්‍රේනින් එක අවසන් වෙද්දී ඒ ළමා මනසේ සිංහලයා ගැන සිංහල හමුදාකාරයා ගැන
කොච්චර වෛරයක් තිබෙනවාද කියනවා
නං මාස ගණනක් පුරා තමන්ම කවලා පොවලා ආදරයෙන් හදා ගත්ත හා පැටියාව පණ පිටින්
කීතු කීතුවලට කරලායි මරලා දාන්නේ. ඊට පස්සේයි ඒ
ළමයා කොටි සාමාජිකයෙක් වෙන්නේ. ඉතිං එහෙම හදන මිනිසුන්ට දේශපාලන
විසඳුමක් දෙන්න පුළුවන් වෙයි
කියලා උඹලා හිතනවද?
ඩෝරා
අප දෙදෙනාව සංවේගයට පත් කිරීමට සමත්විය. මා මෙතෙක් කල් සිතා සිටියේ ඩෝරා “නේවි” එකට බැඳීමට
දැක් වූ ආශාව අරමුණකින් තොර එකක් වූ බවයි.
“උඹ
කියන දේ තේරෙනවා ඩෝරා. උඹ වගේ හිතන එකෙක් අපිත් එක්ක ඉන්න එකත් ආඩම්බරයක්. ඒත් හැමෝම යුද්දෙට
ගිහිල්ලා හරි යන්නේ නෑනෙ මචං.
අපි
කැම්පස් ආව එකේ මෙහෙ ඉඳං
මේ රට ශක්තිමත් කරන පදනම හදමු. “
“තවත් එක කතාවකින් මං මගේ
කථාව අවසන් කරන්නම්. තරහා නැතුව ඒකත් පොඩ්ඩක් අහගනින්කෝ”
ඩෝරා
හරිබරි ගැසුණේය.
“දවසක් උපාධිකාරයෙක් ගියාලු රස්සාවක
ඉන්ටවීව් එකකට. විධායක ශ්‍රේණියේ
රැකියාවකටයි මිනිහා ඉල්ලුම්කරලා
තියෙන්නේ. ඒත් මිනිහට හම්බ වෙලා තියෙන්නේ අතුගාන රස්සාවක්. ‘තමුසෙට පිස්සුද මං උපාධිකාරයෙක්’ කියලා තරහ ගිය
ඒ මනුස්සයා කෑ ගැහැව්වාලු. ඊට පස්සේ
ඉන්ටවීව් බෝඩ් එකේ හිටිය
මනුස්සයෙක් ඇවිත් ‘අනේ
සමාවෙන්න මහත්තයෝ මෙන්න මෙහෙමයි
අතුගාන්නේ’ කියලා අතුගාන හැටි මිනිහාට පෙන්නුවාලු.
No comments:
Post a Comment