සබඳ නුඹ මා නෙතට
නිබඳ අංජන කල්කයයි
සබඳ නුඹ මා හදට
නිබඳ වින්දන
සිසිලසයි
නුඹ පැමිණ මා පසෙක වැතිරී
සිනිඳු සියුමැලි ඇඟිලි තුඩඟින්
හද වෙණෙහි තත් පරිමදින කල
ජීවිතය නම් සොඳුරු ගීතය
මිහිරියාවෙන් පිරී යයි...
මම ආදරය කළෙමි; ආදරය ලැබුවෙමි; ආදරය
වින්දෙමි. වර්ෂා සුබ්‍රමනියම් නම් වූ සොඳුරු හිතවාදිනිය නිසාවෙන් මා වෙනස්
පුද්ගලයකු බවට පත් විය. ඈ මගේ හුදකලා
තත්ත්වය මට අමතක කර වීය. ඇගේ ඇසුර මා සෙනෙහෙවත් පුද්ගලයකු බවට පත් කර වීය. ඇගෙන් මා ජීවිතය වින්දෙමි. ඈ
නිසාවෙන් මා නැවත ඉපදුණ බවක් මට
හැඟිණි.
ආශාවන් අතර
බලවත්ම ආශාව ආදරය බව මම දැන ගතිමි; හැඟීම් අතර
බලවත්ම හැඟීම ආදරය බව දැන ගතිමි. ඒ ආශාවන් හා හැඟීම් මා අභ්‍යන්තරයේ වූ සොඳුරු දෑ මතු පිටට ගෙන ඒමට
සමත් විය. මා සොඳුරු
පුද්ගලයකු බවට පත් විය.
ඉමක් කොනක් නොපෙනෙන
මහ කතරක අතරමංව සිටි මට පා තැබිය
යුතු මඟ කියා දුන්නේ ඇයයි. හුස්මගත නොහැකිව දියේ ගිලෙමින් සිටි මට දිය
දෙබෑ කරමින් පිහිනන්නට ඉගැන්වූයේ ඇයයි. සැඩ සුළඟට හසුව
ගසා ගෙන ගිය මට වා තලය සිදුරු කරමින් පියාඹන්නට වැර දුන්නේ ඇයයි. ඉතින් ඇය මට ජීවිතය මේ යැයි කියා දුන්නීය.
මා වාසනාවන්ත පුද්ගලයෙකියි මට දැන් හැඟේ. ඇයි? යම් පුද්ගලයෙකුට තමා කැමැති
කෙනෙකුට ආදරය කරන්නට ලැබීම වාසනාවක් නොවන්නේද? නමුත් වඩාත් වාසනාවන්ත වනුයේ තමුන් ආදරය කරන කෙනාව
ලැබීමට වඩා තමුන්ට ආදරය කරන කෙනාව ලැබීමය. එයිනුත්, තමුන් ආදරය කරන කෙනා තමාටත් ආදරය කරනවා නම් එම ලැබීම
වාසනාවන් අතරත් වාසනාවකි. එබැවින් මා
වාසනාවන්තයින් අතරත් වාසනාවන්තයෙකි.
අප දෙදෙනාගේ ආදරය
ප්‍රකාශ කර පටන් ගත්තක් නොවේ.
මා මෙන්ම
වර්ෂාද මුලින් ඒක පාර්ශ්විකව ආදරය කිරීමට පටන් ගත්තීය. ඒ තරම් සුන්දර ආදරයක් තවත් ඇතැයි මම නොසිතමි. එය අප දෙදෙනාටම දැනිණි. ඉන්පසුව එය ද්වී පාර්ශ්වික ආදරයකට පෙරළිණි.
වර්ෂා බුද්ධිමත්, අව්‍යාජ, සොඳුරු යුවතියක් වූවාය. බොහෝ අන් ළඳුන් කෙරෙහි පවත්නා සෝබන, බොළඳ ගති
පැවතුම් ඇය කෙරෙහි නොවීය. ඇය පොළොවේ පය ගසා ජීවත් වන යුවතියකි. වඩාත් වැදගත් කරුණ වනුයේ ඈ
මා අවබෝධ කර ගත් තැනැත්තියක වීමයි. මගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට ඈ සමත්
වූවාය. ඈ මට, මගේ සිතුම්
පැතුම්වලට ගරු කළ අතර, මාද ඈට
මෙන්ම ඇගේ සිතුම් පැතුම්වලටද ගරු කළෙමි. අප දෙදෙනා අතර එම සුහද අන්‍යෝන්‍ය අවබෝධය අපේ බැඳීම වඩ වඩාත් ශක්තිමත් කර වන්නක් විය.
ඇගේ ගම ත්‍රිකුණාමලය විය. ඇගේ වැඩිමහල් සොහොයුරිය සමඟ ඈ නුගේගොඩ පිහිටි කුඩා නිවසක
වාසය කළාය. ඇගේ මව හා පියා
ඇගේ බාල සොහොයුරන් තිදෙනා සමඟ ත්‍රිකුණාමලයේ විසූහ.
අප දෙදෙනාගේ ඇසුර විශ්ව විද්‍යාලයේ කිසිවෙකුටවත්
රහසක් නොවිණි. කිසිවෙකුටවත් නොදැනෙන පරිදි රහසින් ආශ්‍රය කිරීමට අප
දෙදෙනාටම අවශ්‍ය නොවිණි. අප ජාතීන් අතර විවිධත්වය නිසාම
ඇතැමෙකු අප දෙස පුදුමයෙනුත් වපරැසිනුත්
බැලූහ. නමුත් අප දෙදෙනාගේ ජාතීන් අතර
විවිධත්වය හා සංස්කෘතීන් අතර විවිධත්වය තව තවත් අප දෙදෙනා
ළං කළා විනා දුරස් වීමක් නම් ඇති
නොකළේය.
වර්ෂාගේ බලපෑම මත මට සැම දා ලෙක්චර්ස් යෑමට සිදු විය. නමුත් අපි දෙදෙනා එක තැන වාඩි නොවූයෙමු. ඈ ඇගේ දමිළ
යහළුවන් සමඟත් මා ඩෝරා හා බතා සමඟත් වාඩි
විය. ලෙක්චර්ස්
අවසානයේදී රූස්ස ගස් යට බංකුවලදී අපි හමු වූයෙමු.
අප දෙදෙනා රූස්ස ගස් යට බංකුවක හිඳ ගෙන පිළිසඳරක
යෙදී සිටියදී බතා හා ඩෝරා අප වෙත ආහ.
“ඔන්න බලපං බතා, සමහරුන්ට ගොඩ ගියාට පස්සේ ඉස්සර හිටිය
යාළුවොත් අමතක වෙන හැටි”
ඩෝරා අප අසල තවත් බංකුවක ඉඳ ගනිමින් කීවේය.
“කියලා වැඩක් නෑ මචං. අපි උන්නාද මළාද
බලන්නේ නෑ දැන්. අච්චර තව ලස්සන දෙමළ නංගිලා ඉන්නවා, නිකමට
පොඩ්ඩක් හිතලාවත් බලනවාද, තාමත් වේලි වේලි පරණ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා, උන් ගැනත් ටිකක් බලන්න ඕන කියලා? කොහෙද ඉතින් එහෙම වාසනාවක් අපට?”
බතාගේ කතාවට
වර්ෂා ලැජ්ජාවෙන් රතු වූවාය. මගේ යහළුවන්
ඉදිරියේදී ඇගේ හැසිරීම හැම විටම ලජ්ජාශීලි එකක්ම
විය.
“අනේ, අනේ! මම රැවටුණාට මගේ යාළුවෝ මම
තරම්මෝඩ නෑ හොඳේ.”
ලැජ්ජාවෙන් රතු වූ
වර්ෂා එය මා වෙත පැටවූවාය.
“වැරදිලා තියෙයි එහෙම නම් අපි වගේ කොල්ලෙක් දා ගත්තම. උඹලා නම් අහුවෙන්න
එපා බං ඕවට. හැමෝටම
තිබෙන්නේ හැටහතරම තමයි. හැබැයි ඉතින් ඒක තේරුම් ගනිද්දි මං පරක්කු වැඩියි.”
මම ඇයව තවත් රතු කර වූයෙමි.
“හරි, හරි අපිට
එපා උඹලාගේ කපුකම්. අපිටත් ඉතින්
කවදා හරි දවසක හඳ පායයි නේ. අපි ආවේ පොඩි දෙයක් කියන්න. හෙට
දෙන්නාම උදේ පාන්දරම එන්න ඕනේ
ෆැකල්ටියට. දෙන්නාටම පොඩි
සර්ප්‍රයිස් එකක් තියෙනවා අපෙන්. එහෙමනම් අපි ගියා, හෙට
හම්බ වෙමු.”
ඩෝරා එය පවසා බතාද කැටිව ගියේය.
මට හෙට ගැන හිතා ගන්න පුලුවන්... ගොඩක් දුරට මල් බුකට් 1ක් වෙයි... :P
ReplyDeleteහා හා හා....... :D :D :D
ReplyDelete