Saturday, October 20, 2012

ගිම්හාන වර්ෂා - හයවන දිගහැරුම


මියුලැසිය මුදු නයන කැල්මෙන්
හදේ දුක් ගිනි සිඳින්නී
ජීවිතේ ගිම් සමය නිමාකර
ආදරේ වැසි ඉසින්නී

අතරමං වූ දිවි සැරිය වෙත
මඟ කියන තාරකාවී
ජීවිතේ අම සුවය ගෙන දෙන
සොඳුරු දිව අංගනාවී ....

නුමුතු  සෙනෙහස්  මල් කිනිත්තෙන්
සොම්නසේ දිය ඉසින්නී
ඉඳින්  පණ මෙන් ලඟින් නිතියෙන් 
සුර ලොවක් මට මවන්නී


















           වෙනදාටත්  වඩා වේලාසනින්  පසු දිනයෙදී මම කැම්පස් පැමිණියෙමි. ඒ, මින් පෙර කිසි දිනක නොතිබූ සතුටක් හිතේ පුරෝ‍ ගෙනය. හේතුව...?හේතුව වර්ෂාය. ඇයද  වේලාසනින්  කැම්පස්  පැමිණෙන  බව දන්නා නිසාවෙන්  රූස්ස ගස් යට බංකුවක මම ඈ  ‍අපේක්ෂාවෙන් සිටියෙමි.

            මගේ බලාපොරොත්තුව මල් ඵල ගන්වමින් වර්ෂා  ඇගේ තවත් මිතුරියන් දෙදෙනෙකු  සමඟ පැමිණියාය.   ඔවුහු  ආපනශාලාව දෙසට ගමන් කළහ. මා දැකීමෙන්  වර්ෂා  ඇගේ සුන්දර  සිනහව  මා වෙත පිළිගැන්නුවාය. මාද එලෙසින් ප්‍රතිචාර දැක්වීමි. අනතුරුව  ඈ  මිතුරියන්ට යමක් පවසා මා දෙසට පියවර මැන්නාය. මිතුරියන් දෙදෙනා  ආපනශාලාව  ඉදිරියට ගොස් නැවත හැරී  මා දෙස බලා ඔවුන් දෙදෙන යමක් පවසාගෙන සිනාසි ආපනශාලාව වෙත ගියහ. 

            “ගුඩ් මෝනිං”

            වර්ෂා මා අසල  අනෙක් බංකුවේ ඉද ගනිමින් පැවසුවාය.

            “ගුඩ්  මෝනිං...  කොහොමද, ඉතිං”

            “වරදක් නෑ, ඔයාට  කොහොමද?”

            “මාත් හොඳින්”
           
            කථාව  එපමණකට  සීමා විය. මට  ඈත් සමඟ දහසක් දේ කථා කිරීමට තිබුණද  මගේ  සිත මට  එරෙහිව ගොළු වෙලාය. ඇයද  කිසිවක් නොපවසා බිම බලාගත් වනම සිටියාය. ඇයගේ  යහළුවන්  ඉදිරියේ  නම්  කිචිබිචියට ඇය තරම්  හපනෙක්  තවත් කොහිද? මම ඇය දෙස බලා සිටියෙමි; සිත් සේ ඇගේ  රුව  විඳ දරා ගත්තෙමි. ඇගේ හිස රැඳි පිච්ච මල් කළඹට  එහි සුවඳට මා බෙහෙවින් ඇලුම් කළෙමි. මා දමිළ  ළඳකට  මෙතරම්  සමීප වෙතැයි සිහිනෙකුදු නොසිතුවෙමි.  අප ජාතීන් අතර  විවිධත්වයම තව තවත්  ඈ කෙරේ කුතුහලයක්  ඇති කිරීමටත්  ඈ ගැන තතු  සොයමින්  ඇයට  වඩාත් සමීප  කරවන්නටත් සමත්විය.

            “ඉතින්  කියන්න”

          අවසානයේ   මම යමක් කීමට  අපහසුවෙන්   වචන  ටිකක්  ගළපා ගත්තෙමි.

            “මොනවාද?”

            “ඕනෑම දෙයක් කියන්න, මම අහගෙන ඉන්නම්.”

            ඇය සිනාසී බිම  බලා ගත්තාය.

            “එහෙනම් අද මාත්  එක්ක ලෙක්චර්ස්  යමු.”

             හදිසියේ මතක්වුණු දෙයක් මෙන්  ඈ මට කීවාය. 

            “ලෙක්චර්ස්”

            මට  යම් අපහසුවක් දැනුණි.

            “ඔව්,  ඇයි බැරිද?”
           
            “හ්ම්... යන්කෝ එහෙම  නම්..  ඒකට  තව පැය දෙකක් විතර තියෙනවා නේ”

            “ඇයි ඊට කලින් පැනලාවත් යන්නද?”

            “කොහේ  පැනලා යන්නද, හදා ගත්ත පැල  දාලා”

            “ඒ කිව්වෙ?”

            “නෑ,  නෑ  නිකම්  කිව්වෙ.  තේරුමක් ඇති දෙයක් නොවෙයි.”

මම සිතින් සිනාසුනෙමි.

            ඒක නොවෙයි,  කෝ ඔයාගේ  යාළුවෝ දෙන්නා?  ඒ දෙන්නා  ඇරුණාම ඔයා වැඩියෙ යාළුවෝ ආශ්‍රය කරන්නෙ  නෑ නේද?”

            “අනේ... ඔය ඉන්න දෙන්නා  හොඳටම මදැයි”

            “ඇයි  අනෙක්  අය හොඳ  නැද්ද?”

        “මේකේ ඉන්න සමහරු මාත් එක්ක  හිනා වෙනවටවත් මම කැමැති නෑ  වර්ෂා.  උන්ගේ  හිනාව අස්සෙනුත් මට පේ‍න්නේ ආත්මාර්ථකාමී කුහක  විරිත්තිල්ලක්.   හැමෝම හිතන්නේ, වැඩ කරන්නේ උත්තම පුරුෂ  දෘෂ්ටි කෝණයෙන්.   අනෙක  රැග් එකෙන් කාපු තෙල තාම මුන්ගෙ  ඇ‍‍ඟේ  දුවනවා. ගොඩක් උන්ට  ඕනෑ  පොරක් වෙන්න. ඉතින්  එක එක දේවල් කරලා  පොරක් වෙන්න දඟලනවා. ඒකත්  එකට හොඳ යාළුවෝ හිටියේ ඉස්කෝලෙ.  සැපට දුකට  එදා වගේම අදටත් උන් මාත් එක්ක ඉන්නවා. ඒත් කෝ  ඉස්කෝලවල හිටපු  යාළුවෝ මෙහේ?  උන් ඔක්කොම හැළිලා. මෙතෙන්ට එන්නෙ තනියෙන්පාඩම් කරලා ගොඩ ගිය ආත්මාර්ථකාමියෝ ටිකක් විතරයි  වර්ෂා”

            “එතකොට  ඔයත් ඒ ගොඩේද?”

            “‍කොයි ගොඩේද?”

            “තනියෙන් පාඩම් කරලා ගොඩ ගිය ගොඩේ”

           සිනහවකින් පමණක් මම එයට පිළිතුරු දුනිමි.ඇත්තෙන්ම ඇගේ සමහර ප්‍රශ්නවලට මම නිරුත්තරය.  ඇගේ සෘජු බව වඩ වඩාත් මා ඇය වෙත අද්දවා ගැනීමට සමත් වන බව මට හැ‍ඟේ.

            “මනේෂ්  දන්නවාද, නස්රුඩීන් යතුර  හොයපු  කථාව?”

           කල්පනා සයුරක ගිලීහුන් මගෙන් වර්ෂා අසද්දී මම නැතැයි කීමට ඔළුව  වැනීමි.

            “ඔයා  නස්රුඩින්  ගැන අහලා ඇති නේ. හරි හරි වැඩ තමයි නස්රුඩීන්ටත් වෙන්නේ. ඔන්න දවසක් රෑක නස්රුඩීන් පාරේ යද්දී පහන් කණුවක් ළඟ මිනිහෙක් මොනවාද හොයනවාලු. බැලින්නම් ඒ මනුස්සයාගේයතුරක් නැති වෙලා. ඉතින් නස්රුඩීනුත්  යතුර   හොයන්න පටන් ගත්තාලු.  පැය භාගයක් විතර දෙන්නාම  එකතු වෙලා හෙව්වත් හොයා ගන්න බැරි වෙලා.  බැරිම  තැන නස්රුඩීන්  ඒ මනුස්සයාගෙන් ඇහැව්වාලු ‘කොයි හරියෙද යතුර නැති වුණේ‍?’කියලා.  එතකොට ඒ මනුස්සයා  ‘අන්න අර හරියේ’  කියලා  පහන් කණුවට  ටිකක් ඈත කළුවර පැත්තක් පෙන්නුවාලු.  හොඳටම තරහ ගිය  නස්රුඩීන් ඇහැව්වාලු ‘ඉතින්  එහෙම නම් ඇයි මිනිහො එතැන නේ හොයන්න තිබ්බෙ?’  කියලා. එතකොට  ඒ මනුස්සයා කිව්වාලු, ‘එතැන කළුවරයි නේ.  හෙව්වට පේ‍න්නේ නෑනෙ.  ඒකයි පහන් කණුව  යට හොයන්න පටන් ගත්තෙ’  කියලා.

            ඇය සිනාසුනාය. මාත්ඇය අනුගමනය කළෙමි.

          “නස්රුඩීන් යතුර හෙව්වා වාගේ වැරදි  තැන්වල අර වාගේ දේවල් හොයන්න යන්න එපා මනේෂ්’

         ඇගේ පළමු කථාවෙන්  මගේ මුහුණේ වූ සිනහව හා ප්‍රීතිමත්භාවය ඇගේ අවසන් වදන්වලින් ඉබේම අතුරුදහන් විය.  ඇය කෙතරම් දැනුම් තේරුම්  ඇත්තියක් දැයි මට සිතා ගත නොහැකි ය. ඒ වෙලෙහි ඇය කෙරෙහි කෙතරම් ස්නේහයක් උපන්නේද යත්  ඇයගේ මුහුණ සිඹීමට තරම් සිත් විය. නමුත් එම සිතිවිල්ල මා සිත තුළම මියෑදෙන්නට  ඉඩ හැරියෙමි.

            මාත්, ඇයත් පැය  දෙකක පමණ  කාලයක් කථා බහ කළෙමු.  ඇගේ හිස දැවටි පිච්ච මල් අප  අවට සුවඳවත් කරමින් කථා බහට කදීම තෝතැන්නක් මවා දුනි.  විශ්වවිද්‍යාලයේ  මා ගත කළ සොඳුරුතම කාලය  ඒ බවට කිසිදු සැකයක් නැත.

            “ඔන්න වෙලාව  හරි. ඔයාට  පොරොන්දුවක් ඉෂ්ට කරන්න තියෙනවා”

            වර්ෂා  හදිසියේම නැඟිටිමින් කීවාය.

            “ඒ මොකක්ද?”

            “මෙච්චර ඉක්මනට අමතක වුණාද? යමු ලෙක්චර්ස්”

            කෙසේ  හෝ මට  ලෙක්චර්ස්  යෑමට සිදු විය. ඇය පවසන දෙයකට මා කෙසේ අවනත නොවන්නද? ඇයත් සමග ලෙක්චර් හෝල් එක වෙත ගිය මා පළමුව  ඊට ඇයට  ඇතුළු වීමට ඉඩ හැරියෙමි.   ඇගේ  දමිළ  යහළුවන් වෙත ගොස් ඈ හිඳ ගත්තාය.  මඳ වේලාවකට පසු මම ඇතුළු වුණෙමි. ලෙක්චර්  හෝල්  එක තුළ සිටි ළමයින්ගේ කසු කුසුව ම‍ගේ සම්ප්‍රාප්තියෙන් නැතිව ගියේය. සියල්ලෝම පුදුමයෙන් මා දෙස බලා සිටියෝය. ඒ බැල්මට  මගේ මුවට සිනහවක් මතු විණි.  මා දැකීමෙන් වඩාත් පුදුම වූයේ මා සුමිතුරු  ඩෝරා හා බතාය. ඩෝරා  තම ඔළුවේ අත් දෙක ගසා ගනිද්දී බතා  තම දෑස් පිස දමමින් මා දෙස බැලුවේය.
           
            “අද නම් වහියි..”

            යමෙක් කීවේය.

            සියල්ලන්ගේම සිනා හඬ මධ්‍යයේ මම,  බතා හා ඩෝරා වෙත ගොස් හිඳ ගතිමි. 

No comments:

Post a Comment