ගොදුරකට ඉව කරන
රකුසු ඇස් දහසකින්
කෙසේ ගැල වී යමුද
අපි, නොදුටු
විලසකින්?
වියල වී ඉරි තැළුණු
ගිම්හාන සමය නම්
පිපාසෙට දිය බිඳක්
සොයන්නේ කොහොම මම්?
නොසන්සුන් සරසවියෙ
අඳුරු බිම් පසු කරන්
අපි ඔහේ ඇවිද යමු
ගැහෙන හදවත් අරන්...
දින
දෙකක් වයසැති මගේ සරසවි දිවිය මට එපා
විය. එදින මා නිවස වෙත පිය මැන්නේ නැවතත්
එම පිළිකුල් බිමෙහි පස් නොපෑගීමට අදිටන් කර ගනිමිනි. නමුත් මා තරම්
ඉක්මනට හදිසි තීරණ ගන්නෙක් හෝ ගන්නා තීරණ ඒ පමාවෙන්ම වෙනස් කරන්නෙක් හෝ මා දැනුවත්ව තවත්
නම් නොවිණි. හොඳට හෝ නරකට
තෙවන දිනයේදීත් සරසවි යාමට මාගේ
සිත සැකසුණි.
නවක වදයේ කේන්ද්‍රස්ථානය අප
පීඨයේ ආපනශාලාවයි. මා එහි
යන විට නවකයන් රැසක් තම තමන්ගේ වැඩ අරඹා
තිබුණි. උත්තමයෙකු වට කර ගෙන
සිටි නවකයන් රැසක් අතර, එම උත්තමයාගෙන් අවසර ගැනීමෙන් අනතුරුව හිඳ ගැනීමට මට වරම් ලැබුණි. පෙර දා මා සමඟ නවක
වදය එකට රස විඳි සුන්දර දමිළ යුවතිය මට මුහුණලා මේසයේ අනෙක් පැත්තේ අසුන් ගෙන සිටියාය. මා ඈ
දෙස බලත්ම ඈද මා දෙස බැලුයෙන් ඇගේ
මුහුණේ මා වෙනුවෙන් පිළිගැන්වුණ
සිහින් සිනහව මා නෙත ගැටුණි. එය මම
මහත් ආස්වාදයෙන් රස වින්දෙමි. එය තවත් සුළු මොහොතකින් පිළිගැන්වීමට නියමිතව
තිබූ නවකවදය කෑමට පෙර ලද දිව ඔසුවක් මෙන්ම
විය.
“අඩෝ දැන් ආපු
එකා... කියපන් බලන්න උඹේ හෑල්ල”
උත්තමයා මා වෙත යොමු විය.
පෙර දින කියා දුන් පරිදි මම මගේ හෑල්ල දිග හැරියෙමි.
“මගේ නම රූස්ස කැලේ
බඩගාන මුදියන්සේලාගේ කණ්ණාඩි පොළඟා. කෙටි
නම පොළඟා. කාඩ් එක මනේෂ් ප්‍රබෝධන.
මගේ පවුලේ තුන් දෙනායි, අම්මායි, තාත්තායි, මල්ලියි. මම අපේ පවුලේ
නෙමේ, එහා ගෙදර පවුලේ. මගේ උසස් පෙළ ප්‍රතිඵලය ගල් බෝතල් තුනයි.”
ඊයේ
දින පමණක් උත්තමයන් හමුවේ මාගේ මේ හෑල්ල සිය වරකට වඩා මම දිග හැරියෙමි. ගැටලුව
නම් අන් අයගේ හෑලිද අසා සිට ඒවාද
කටපාඩම් කර ගත යුතු වීමයි. නොහැකි
වන්නන්ට වැඩි වෙලාවක් කත හැකි මෙන්ම පසුවද
වමාරා රස විඳිය හැකි රසවත් දෑ ලොකු
හැඳිවලින් බෙදෙනු ඇත.
මගෙන් පසු තුන් හතර දෙනෙකුගේ හෑලි දිග
හැරීමෙන් අනතුරුව එළඹුණේ දමිළ
යෙහෙළියගේ වාරයයි. ඇය මහත් චකිතයකින් පසුවන බවක් දිස් විය. දුටු විට නැවත වරක් හැරී බලන්නට තරම් ලස්සනක් ඈ සතු විය. ඈ
ඇඳගෙන සිටි ආකාරය, නළලේ තිලකය වැනි
දමිළ යුවතියකගේ ඇඳුම් පැළඳුම් රටාව නොවන්නට ඈ දමිළ යුවතියක යැයි සිතීමට
කිසිදු ලක්ෂණයක් ඈ සතු නොවීය.
ඇගේ සමේ පැහැය දමිළ ළඳකට නොගැළපේ යැයි මට සිතුණි.
ඈ එතරම්ම සුදු විය. මේ
පීඩාකාරී තත්ත්වය හමුවේ ඇගේ වතේ පැහැය දෙගුණ තෙගුණ කිරීමට බියෙන් ගැහෙන ඇගේ හද හේතු
වූ බවට නම් කිසිම සැකයක් නැත.
බොහෝ වෙහෙස වීමෙන් අනතුරුව ඈට හැකි වුයේ ඇගේ නම පවසා ගැනීමට පමණි. ඈ නමින්
‘වර්ෂා සුබ්‍රමනියම්’ විය.
කුමන හේතුවක් නිසාවෙන් දැයි
නිශ්චිතව කිව නොහැකි වුවත් ඇගේ හෑල්ල ඇසීමට මගේ යටි සිත ආශාවෙන් බලා සිටි බව මට වැටහුණේ ඇගේ
කෙටි හෑල්ල මා සිතේ යම් නොසතුටු බවක් ජනිත කළ නිසාවෙනි. කෙසේ වෙතත් මා ලද දෙයින් සතුටු වූයෙමි. ‘වර්ෂා සුබ්‍රමනියම්’....කෙතරම් ලස්සන නමක්ද, එය?
දමිළ
ළඳකට සිහල බස් පෙළහැර පෑම අපහසු බැවින් එවර නම් අප මෙහෙය වූ උත්තමයාගේ අනුකම්පාව දිනා
ගැනීමට ඈ සමත් විය. එය මගේද
අස්වැසිල්ලට හේතු විය.
මෙලෙස සතියේ දින පහේම උදෑසන හතට
පෙර නවක අප සියල්ලම
උත්තමයන්ගේ අණට අනුව අප පීඨයේ කැන්ටිම වෙත ආ යුතු විය. දේශන පටන් ගන්නේ උදෑසන නවයට
බැවින් එතෙක් දේශන පැවැත් වීම
උත්තමයන් විසින් සිදු කරන ලදි. නවක වදය
හෙවත් ‘රැග්’ එකේ මුල් කාලයේදී අප
හොඳින් රැග් වූ නමුත් අවසන් කාලයේදී අප රැග් කරමින් ජ්‍යෙෂ්ඨයන්ද රැග් විය. ඒ රැග්
එකට අප අනුගත වී සිටි බැවිනි. ඇසෙන දෙයක් එක කනකින් අසා අනෙක් කනින් පිට කිරීමටත්, කරන ලෙසට පවරන දෙයක්
නොපිරිහෙළා ඉටු කිරීමටත් තරම් අපි රැග් වීමේ ප්‍රවීණයන් බවට පත්ව සිටියෙමු. එය
ඇත්තෙන්ම නිර්භීතභාවයද, බියගුලුභාවයද
යැයි පැවසීමට නම් මම තවමත් අපොහොසත් වන්නෙමි.
සරසවි දිනයේ
තෙවැනි දිනයේදීත් ‘වර්ෂා සුබ්‍රමනියම්’ මා රැග් වූ මේසයටම පැමිණියාය. ඉඩ ඇති
වෙනත් මේස ආපනශාලාව පුරාම තිබුණත් ඈ මා සිටි මේසය
වෙතම ආවාය. එය ඇය හිතා මතා කළ දෙයක් ද නැතිනම්
අහම්බෙන් සිදු වූ දෙයක් දැයි මා දන්නේ නැත. කෙසේ හෝ ඇගේ පැමිණීම මා සිතේ
යම් ප්‍රීතියක් ඇති කිරීමට සමත් විය.
නමුත් මට එය පවසා ගැනීමට හෝ කිසිම
අයුරකින් හැඟවීමට නොහැකිය. මන්ද
යත් අප ‘රැග්’
වන්නන් වන නිසාවෙනි.
“අඩෝ උඹලාට අවුල් ද?”
අප
මේසයේ සිටි ජ්‍යෙෂ්ඨ උත්තමයා
අපෙන් ඇසුවේය. අප මේසයේ
සිටියේ මාත් වර්ෂාත් බතා හා ඩෝරා නම් වූ
තවත් මිතුරන් දෙදෙනෙකුත්ය. කිසිම
අවුලක් නෑයි කීමට අපි ඔළු වැනුවෙමු.
“අවුල් වුණත් කරන්න දෙයක් නෑ යකෝ”
කියමින් උත්තමයා අප දෙස අවඥා සහගත
බැල්මක් හෙළීය. අනතුරුව ඔහු ඔහුගේ දේශනය පටන් ගත්තේය.
“උඹලා හිතනවද යකෝ අපි මේ ආසාවෙන් උඹලාව රැග් කරනවා
කියල. අපිට එහෙම ආසාවක්නෑ. මේ
කාලේ උඹලාට අපි යක්කු වගේ පෙනෙයි. ඒ වාගේම උඹලාට රැග් කරන්නේ නැති මිනිසුන්ව දෙවියෝ වගේ පෙනෙයි. තව මාසයක් යන කල් උඹලාට ඔහොම තමයි පේන්නේ.
ඊට පස්සේ බලාපල්ලාකෝ. ඊට
පස්සේ උඹලාට කවුද යක්කු, කවුද දෙවියෝ
කියලා හඳුනා ගන්න පුළුවන් වේවි. ‘අපි තමයි දෙයියෝ, උඹලා අපිට වැඳ ගෙන ඉන්න ඕනෑ’
කියලා අපි කියන්නෙ නෑ. අපිට
උඹලාගෙන් තඹ සතේක වැඩකුත් නෑ. එහෙම වැඩක්
තියෙනවා නම් මෙහෙම යක්කු වගේ ඇවිත් උඹලාව රැග් කරන්නේ නෑ නේ. එහෙම
ඕනෑ නම් අපිටත් හොඳ බටර් පාරක්
ගාලා දෙවිවරු වාගේ ඉන්න තිබුණා. යකෝ
මේකේ ඉන්න ඕනෑ විදිහක් තියෙනවා. මේකට
ආපු අලුත උඹලාට ඕවා තේරෙන්නේ නෑ. මේ රැග් එකට
එන අයියලා ඔක්කොම ගිය
අවුරුද්දේ රැග් එකට දවසක් නෑර ඇවිත් හොඳට රැග් වෙච්ච කට්ටිය. අපි රැග් එකෙන් දෙයක් ගත්තා. ඒක උඹලාටත්
දෙන්නයි අපි මේ හදන්නේ. එහෙම
ලබා දීලා අපි කිසිම දෙයක් උඹලාගෙන්
බලාපොරොත්තු වන්නේ නෑ. බැජ් එකක්විදිහට උඹලා මේ අවුරුදු හතරේ හොඳට හිටියොත් ඒ ඇති. කියන
තරම් මෙහෙ සුන්දර නෑ බං. හිත හයිය නම් දරා ගනියි”
උත්තමයා දේශනය අවසන් කර අප හරහා විනිවිද බැල්මක් හෙළීය. ඔහුගේ අවධානයට හසු වූයේ වර්ෂාය.
“ආ දෙමළ කෙල්ල කියපං
බලන්න, උඹට කොල්ලෙක් ඉන්නවාද කියලා”
ඔහු ඇගෙන් ඇසීය. නමුත් ඈ පිළිතුරු නොදුන්නාය.
“උඹට සිංහල තේරෙනවාද
කියපංකො ඉස්සර වෙලාම”
උත්තමයා අසද්දී
ඈ සිංහල තේරෙන බව කීමට ඔළුව
වැනුවාය.
“එහෙනම් කියපං
උඹට කොල්ලෙක් ඉන්නවාද”
“නෑ”
“යකෝ අවුරුදු විස්සක්
විතර වෙලාත් තාම ඕක
කර ගන්න බැරි වුණාද? හිටපංකෝ
එහෙනම් ඒකත් මමම කරලා දෙන්න”
උත්තමයා අප දෙස බැලුවේය.
“අපෝ!මෙතැන
ඉන්නවාද ඇහැට කනට
පෙනෙන්න එකෙක්. ඔක්කොම ගල් මූසලයෝ නෙ. කෙල්ලෙ
උඹම කියපන් බලන්න උඹ කැමැති එකෙක්
ඉන්නවාද කියලා?”
වර්ෂා අප දෙස බලා නැවතත් බිම බලා ගත්තාය. ඇය රතු
වෙලාය.
“අම්මට බොල මේකිගෙ කොමලෙ. එහෙනම් උඹ
අවුරුදු හතරම ඔහොමම හිටපන්.
ඊට පස්සේ වළං කට්ටකටත්
වඩා කළු කාක්කෙක් වගේ කොල්ලෙක්ව
ගෙදරින් හොයලා දුන්නාට පස්සේ බැඳ ගනින්.
කොහෙද ඉතින් උඹලාට දෙයක් කරලා දෙන්න ගියාටඒකටත් පින නෑනේ
බං. එහෙනම් අපි අහමුකෝ උඹට කැමැති
කොල්ලෙක් ඉන්නවාද කියලා”
ඔහු මෙසයේ
සිටි මා හා අනෙක් පිරිමි ළමයින් දෙදෙනා දෙස බැලුවේය. එවිට මා මෙන්ම ඔවුන් දෙදෙනාද බිම බලා ගත්හ.
“යකෝ, මේ බලාපල්ලකෝ. කෙල්ලට හපන්නේ මේ තුන් දෙනා. ඉස්සෙල්ලා කියපං බලන්න
උඹලට කෙල්ලො ඉන්නවද කියල?”
නෑයි කීමට අපි
ඔළුව වැනුවෙමු.
“එහෙනම් උඹ කියපං බලන්න උඹ මේ කෙල්ලට කැමතිද?”
ඔහු ඩෝරා දෙසට හැරුණි.
“කැමති නෑ අයියෙ”
ඩෝරාගේ පිළිතුර
විය.
“කැමති නෑ! පුදුම කොල්ලෝ තමයි
උඹලා නම්. එහෙනම් කියපං මේකිට
අකැමැති වන්න හේතු පහක්. ඉස්සර වෙලා
තනි වචනයෙන් ලක්ෂණය දීලා පස්සේ ඒක විග්‍රහ කරපන්. තේරුණා නේද?”
බතා පිළිතුරු කල්පනා කළේය. අනතුරුව ඔහු එය
ඉදිරිපත් කළේය.
“හැඩකාරයි - මෙයා හැඩකාර වැඩියි. ඒක කරදයක් වෙන්න පුළුවන්. හැඩකාර වැඩි හින්දා අනික් කොල්ලෝ මෙයා
දිහා වැඩියෙන් බලන්න
පුළුවන්. එතකොට මට
මළපනිනවා. ඒක හින්දා මම
කැමැති නෑ.
“වැඩකාරයි - මෙයාවැඩකාරයි කියලා පේනවා. මට වඩා මගේ ගෑනුළමයා බුද්ධිමත් වුණොත් එතැනත් ප්‍රශ්නයක්. ඒකටත් මම කැමැති නෑ.
“විසේකාරයි - මෙයාට පොඩ්ඩක් විසේවගේ පේනවා. විසේකාර කෙල්ලක්
දා ගත්තොත් අපේ අම්මා මාව ගෙදරින්
පන්නයි. ඒ හින්දා ඒකත් ප්‍රශ්නයක්.
“විකාරයි- මෙයා දෙමළ හින්දා සමහර
විට මං කියන දේ තේරෙන්නෙ නැති
වෙන්න පුළුවන්. එයා කියන දේ මට තේරෙන්නේ නැති වෙන්නත්
පුළුවන්. ඒක මහා
විකාරයක්. එතකොට ඒකත් ප්‍රශ්නයක්.
බතාගේ කතාවට උත්තමයා කට වහගෙන සිනාසුණේය. උත්තමයන්ට අප ඉදිරියේ සිනහ වීමට වරම් තිබුණේ නැති බව මම පසුව දැන ගතිමි. ඒ ඔවුන්ගේ යක් ප්‍රතිරූපයට හානි වන නිසාවෙනි. අපට නම් කට වහ ගෙන සිනහ වීමටවත් වරම් හිමි වුණේ නැත.
“කෝ හතරයි නේ. ඉතුරු එකත් ඔහොමම කියපං”
නමුත් බතා හිර වී සිටියේය. ඔහුට තව
ලක්ෂණයක් සොයා ගත නොහැකි විය.
“කියපං යකෝ, උඹට හේතු හතරද තියෙන්නේ, මේ ලස්සන කෙල්ලට
අකැමැති වෙන්න? ඉතුරු එකත් කියපන්”
උත්තමයාගේ පීඩනය හමුවේ
බතා පිළිතුරු සොයන්නට විය.
“බුබ්බුලාකාරයි”
බතා කීවේ අප
සැවොම සිනා ගස්සවමිනි.
“ඈ යකෝ මේකි
බුබ්බුලාකාරද? උඹට
ඒ වගේද මේ කෙල්ලව පේන්නේ? අනෙක් උන් මොකද
හිනා වුණේ? ගහගනින් තොපි සේරමලාගේ දකුණු අතේ
ඇඟිලි ටික කටේ”
සිනා වීමේ වරදට
ඇඟිලි කටේ ගසා ගැනීමට මට සිදු විය.
“කොල්ලා උඹ
කියපන් බලන්න. උඹ මේ කෙල්ලට කැමැතිද?”
උත්තමයා ඩෝරා දෙස හැරුණේය.
“ඔව්.”
ඩෝරාගේ උත්තරයට මා තුළ කෝපයක් හට ගැනුණි. බතා ඇයට කැමැති නෑ යැයි කියා කෑ
පරිප්පුව හේතුවෙන් ඔහු කැමැති යැයි කීවා
විය හැක. නමුත් මාසිතුවේ ඊළඟ අවස්ථාව මට
පැමිණේවි කියාය. එය එසේ සිදු
වුණි නම්...
“අපෝ පැණියා. කෙල්ලෙක් පෙන්නලා
කැමැතිද ඇහුව ගමන් උඹත් පැනලා ‘ඔව්’ කියනවා. දැන් ඉතින් හේතු
කියන්න හදන්න එපා, මේකි ගණන් උස්සයි. උඹලා ඉගෙන ගෙන තියෙනවානේ අසීමිත මිනිස්
වුවමනාවන්ට සාපේක්ෂව සම්පත්
හිඟයි කියලා. ඒක හින්දා දැන්මම
හොඳ තෝරා ගැනීමක් කර ගනින්, කැම්පස් ආපු එකේ.
නැත්නම් ඉතිං විකල්ප නැති තේරිච්ච සම්පතක් තමයි
උඹලාටත් හම්බ වෙන්නේ”
පූර්ණ මසක් ආයු වළඳා නවකවදය අභාවප්‍රාප්ත
විණි. නවකවදය යහපත් දෙයින් මෙන්ම අයහපත් දෙයින්ද පෝෂිත වී තිබුණි. රැග් එකේ හොඳ පැත්ත තම ජීවිතයට එක් කර ගත්තෝ අතළොස්සක්
වූහ. බොහෝ දෙනෙක්
රැග් තෙලඉල්ලාගෙන කෑහ, සමහරු ඇදගෙන
නෑහ. ඒ ගැන
සමාලෝචනයක යෙදෙන්නට මම අකැමැත්තෙමි. නමුත් ඉදිරියේදී කෙදිනකවත් උත්තම ගණයට වැටී ෆ්‍රෙෂාලා
රැග් නොකිරීමට මම සිතා ගත්තෙමි. බුදු දහම රැක ගැනීම පිණිස මිනී මැරීමට
මා අකැමැත්තෙමි. එය එසේම විය යුතු නම් පළමුව මා දිවි නසා ගන්නෙමි. මන්ද යත් බුදු දහම විනාශ වන්නේ එය රැක ගැනීමට වැර දරන මා
නිසාවෙන්මබැවිනි.
රැග් කාලයෙන් පසු කල්ලි කැඩීමට පටන් ගත්තේය. ඒ, එක් වර්ගයේ කුරුල්ලන් එක
අත්තේම වැසූ බැවිනි. වර්ෂා සුබ්‍රමනියම්ද ඇගේ දමිළ යහළුවන් අතරම කාලය ගත කළාය. නාවික හමුදාවට බැඳීමේ සිහිනයක් දකිමින් සිටි අමිල එරංග හෙවත් ‘ඩෝරා’ද, හැඩිදැඩි
සිරුරකට මෙන්ම හොඳ කෑම රුචියකටද හිමිකම් කියූ චානක කෞෂල්‍ය හෙවත් ‘බතා’ද, ඉර හඳටත් වඩා දුර බැලිය යුතු නිසාවෙන්
කණ්ණාඩි පළඳින ‘කණ්ණාඩි පොළඟා’
වන මා සමඟ එක අත්තේ වැසූහ. එක ලෙස සිතන පතන මිතුරන් කලණ මිතුරන් වන බවට බතා හා ඩෝරා මට ප්‍රායෝගික නිදර්ශනයන් විය. සරසවි දිවි පොතේ නා නා පිටු පරිච්ඡේද අතරේ අකුරු කියැවීමට ඔවුන්ගේ අව්‍යාජ මිත්‍රත්වය, කණ්ණාඩි පැළැඳි මට, සැබෑම අස්වැසිල්ලක් විය.
ඉදිරියටත් මෙහෙම ලියන්න...
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDelete