Saturday, October 27, 2012

ගිම්හාන වර්ෂා - නවවන දිගහැරුම 


හීන ගොඩක් තුරුළු  කරන්
සරසවියට ආපු අපිට
අවසානේ ඉතුරු වුණේ
රැගෙන පැමිණි සිහින නොවේ....

කාර්... වෑන්... උයන් වතු
කර ගන්නෙමි දිනෙක සතු
සිහින ලෙසින්   නිතර සිතූ
අතැර යන්න සිතිනු’ යුරු

මගේ මෙහෙය මා නිම කර
නුඹේ මෙහෙය නුඹ නිම කර
අපේ මෙහෙය අපි නිම කර
උදා කරමු නව දින කර

ඈත දුරක සිටන් පැමිණි
සිහින පැතුම් දුරක ඇමිණි
අවසානේ ඉතුරු වුණේ
සරසවියෙ  මතක පමණි...


වෙලාසනින්  එන්නයි  ඩෝරලා  පෙරදා  ඉල්ලීමක් කළ ද මා ෆැකල්ටියට යන විට තරමක් ප්‍රමාද විය.  කැන්ටිම  ඉදිරියට  යද්දී  මා හා වර්ෂා වෙනුවෙන් පිළියෙලවූ ඔවුන්ගේ ‘සර්ප්‍රයිස්’ එක දැක මට දෙලෝ රත් විණි. අප වෙනුවෙන් සරසවි සම්ප්‍රදායානුකූලව  ‘මල් බකට්’ එකක් සූදානම්  වී තිබිණි.

මා ආපසු හැරී යාමට සැරසුණත්  වර්ෂා  උගුලට අසුව  තිබූ හෙයින් එය කළ නොහැකි විය.  වර්ෂා  අපේ බැජ් එකේ පිරිස‍ගේ අත් අඩංගුවේය.  වෙන කළ හැකි දෙයක් නොවූයෙන් මම ද ඔවුන් වෙත ගියෙමි.

“ආ... ඔන්න එනවා මනමාල මහත්තයා”

නඩයේ පෙරමුණ ගත් බතා හා පිරිස  එකම අවුරුද්දේ දෙවන වරටත් මාව රැග් කිරීමට පටන් ගත්හ.   ඔවුහු මට ඔවුන් විසින්ම පිළියෙල  කළ නිළමේ  ඇඳුමක් ඇන්ද වූහ.  කිරුළක්, කඩුවක්, ධෝතියක් මෙන්ම ඊට ගැළපෙන පා වහන් යුවළක්ද  මට පැළැඳීමට සිදු විය. වර්ෂාද උඩරට මනාලියක සිරි ගන්වමින් සරසා තිබිණි.  සුළු දෙයටත් රතු වන  ඇගේ   ලජ්ජාශීලි මුහුණ තද රතු ජම්බු ගෙඩියක් සිහි ගැන් වීය.  නමුත් මේ සියලු දෑ සහෝදරාත්මක  මිත්‍රත්වය නිසා ඇය ඉවසා සිටියාය. මෙය විඳ දරා ගැනීමට අපහසු වූයේ, අප මිත්‍රයන්ට අමතරව දෙවෙනි, තෙවෙනි හා අවසන් වසරවල සිසුන් මෙන්ම, අධ්‍යයන, අනධ්‍යයන  කාර්ය මණ්ලඩයේද  අවධානය වර්ෂා  හා මා වෙත යොමු වී තිබීමේ හේතුවෙනි.  මට  වර්ෂා සමඟ කථා කිරීමටවත් ඉඩක් නොලැබුණි.  ඩෝරා, බතා ඇතුළු  පිරිසගේ හැසිරවීමට අවනත වන්නට සිදු අප දෙදෙනාට  විය.

මංගල ඇඳුම් ඇන්ද වීමෙන් අනතුරුව  ඔවුහු අපව  මඟුල් පෝරුවට  නැග්ග වූහ.  එය පොල් අතු වියා සකසා මල්වලින් මෙන්ම ගල්, මුල්වලින්ද සරසා  තිබුණි.  එහි දී බැජ්  එකේ සොඳුරු මිත්‍රයකු වූ ‘සාධාරණ කොටා’  විසින් අෂ්ටක කියැවීමට  පටන් ගති.


“උණු දියෙන් නා තල් වැටෙන්                                                    පැන
තිරිකුණාවෙන් කෝච්චියේ                                                         නැග
වරම් ලබලා කොළඹ                                                            සපැමිණි
රුවැති යුවතිය නමින්                                                               වර්ෂා

කොළඹ මැද්දේ කුරුඳු                                                           වත්තේ
ශීත කළ ඒ නිවස                                                                  ඇත්තේ
නාන් නැත්තේ සෙන්ට්                                                          ඇත්තේ
නමින් කොල්ලා මනේෂ්                                                        වන්නේ

සරසවිය වෙත පා                                                               නගන්නේ
පොළඟා කියලයි නම්                                                         ලබන්නේ
රැග් එකෙන්මයි ෆෝම්                                                          වන්නේ
වර්ෂා දැකලයි සිත                                                               දුවන්නේ

තල තෙලුත් ගා පොල් තෙලුත්                                                       ගා
පිච්ච වැල් ලා තිලක                                                                තියලා
වර්ෂා එනවා දුටුවා                                                                  කියලා
හීනෙනුත් දොඩවනවා                                                          පොළඟා

ගෙනා උඳුවැල් ගමේ                                                                ඉඳලා
රස බලන්නකො අනේ                                                            කියලා
පොළඟා අත ඉන් ටිකක්                                                          තියලා
රස අසයි මේ කෙල්ල                                                               වර්ෂා

දන්න දෙමළින් වචන                                                              අමුණා
සිංහලෙන් තව ටිකක්                                                                දමලා
කන්නටත් පෙර රසයි                                                              කියලා
සිත ගනියි ඇගේ අපේ                                                          පොළඟා

ගමේ උඳුවැල් රසයි                                                                කියලා
කෝල් කර කර තවත්                                                             ඉල්ලා
අන්තිමේදී සිතත්                                                                    ඉල්ලා
මෙසේ අතිනත ගනියි                                                          කොල්ලා

  
වැස්සකටවත් ලෙක්චර්ස්                                                 නොඑන්නේ
හැබැයි දැන්නම්                                                          නොවරදන්නේ
පොළඟා දැන් ගැරඬියා                                                          වන්නේ
වර්ෂාගේ හඬටත්                                                            නැවෙන්නේ


ඉතින් තනිකඩ හැව                                                          ඇරෙන්නේ
වර්ෂා නමිනුයි සිත                                                               පුදන්නේ
ඇගේ සිත සතුටින්                                                            පිරෙන්නේ
සිනහවෙන් පෝරුව                                                          දිලෙන්නේ



මංගල පෝරුවේ චාරිත්‍ර අවසන් කිරීමෙන් පසු, නම් රෙජිස්ටර් කිරීම ඇරඹුණි.  රෙජිස්ට්‍රාර්වරිය ලෙස  සිටියේ රැග්  එකේ ප්‍රසිද්ධ චරිතයක්  රඟ පෑ ‘බොලැක්කි’ ය.  ඇයට  සිංහල  කථාව අපහසු විය. රැග් කාලයේදී කථා කළ යුතු වන්නේ සිංහලෙන් පමණි.  දිනක්  සියල්ලම බෙදා ගෙන කෑ මාළු පාන් ගෙඩියක් ප්‍රතික්ෂේප  කරමින්  ඇය කියා සිටියේ  ඇය ශාක භක්ෂකයෙකු බවයි.එසේම වරලත් ගණකාධිකාරී විභාගයේ  ෆවුන්ඩේෂන්  එග්සෑම් කරමින් සිටි  ඇය කියා සිටියේ අත්තිවාරම් විභාගය කරමින් සිටින බවයි.  කෙසේ හෝ ඇයද  මල් බකට්  එක වෙනුවෙන් සෑහෙන දායකත්වයක් සපයා තිබුණි. 

ඒ මොහොතේ  රෙජිස්ට්‍රාර්වරිය ඉදිරියේ  නම් ලියාපදිංචි කිරීම ඇරඹුණි.   ඒ වෙනුවෙන් ඈ  කියවූ ප්‍රකාශය ශපථ  කිරීමට  අපට සිදු විය.

“රූස්ස කැලේ බඩ ගාන මුදියන්සේලාගේ පොළඟා වන මම ...අද පටන් මෙහි සිටින ... තල් මොටයිය  වත්තේ ගෙදර  පුංචි හාමිගේ වර්ෂා සමඟ ... අතිනත ගන්නා බවටත් ... අද පටන් ඇ‍රඹෙන අපගේ යුග  දිවිය ... ගහක් ගලක්  ගානේ බඩ ගා ගෙන ගොස් ඇඟට නොලා බඩට  නොකා ‍හෝ ... දිවි ඇති  තෙක් සාමකාමීව ගත කරන බවටත්  දැනට පවතින පොළොංගහන වර්ධන වේගයේ සැලකිය යුතු වෙනසකට මුල පුරන බවටත් වර්ෂා ඉදිරියේ දණ ගසා  දිවුරා පොරොන්දු  වෙමි.”

මගේ දිවුරා පොරොන්දු වීමෙන් අනතුරුව   එළැඹියේ වර්ෂාගේ වාරයයි. 

“තල මොටෙයිය  වත්තේ ගෙදර පුංචි හාමිනේ වර්ෂා වන මම අද පටන් මෙහි සිටින රූස්ස කැලේ බඩගාන මුදියන්සේලාගේ පොළඟා සමඟ  අතිනත ගන්නා බවටත්  මොන යම් හේතුවක් නිසාවෙන්  හෝ පොළඟාට එරෙහිව  හැළි වළං භාවිත නොකරන බවටත්, පොළගාට  නිය තුඩකින්වත් හිංසා  නොකරන බවටත්, ක්‍රිකට්, ෆුට් බෝල්, රගර්, වොලිබෝල් කණ්ඩායම් කිහිපයක්ම ජාතික සංචිතය වෙත යැවීම සඳහා හැකි උපරිම උත්සාහය  දරන බවටත්, පොළඟා  මා ඉදිරියේ දණ ගසන ඕනෑම අවස්ථාවකදී  ඔහුට  සමාව දෙන බවටත්  පොළඟාගේ හිස අත  ගා පොරොන්දු වෙමි.”

ලියාපදිංචියෙන් අනතුරුව වර්ෂාව  කරත්තයකට  නංවනු  ලැබීය.  එය ඇදගෙන යෑම  මට භාර විය.  ඇද ගෙන යෑමට  මත්තෙන්  අප ඉදිරියට පැමිණි  කණ්ඩායමක්  විසින් කවුරුත්  දන්නා කරත්ත කවිය ගායනා කරන ලදි.

          “තන්ඩලේ  දෙන්නා දෙපොලේ    දක්කනවා
කටු කැලේ ගාල නොලිහා වද        දෙනවා
හපුතලේ  කන්ද දැකලා  බඩ             දනවා
පව් කළ ගොනෝ ඇදපන්  හපුතල්   යනවා”

ගායනයෙන් පසුව  මට වර්ෂාව ඇදගෙන  ෆැකල්ටිය වටේ  වටයක් යෑමට සිදු විය. ඉන්  පසුව අප දෙදෙනාම බකට් කිරීම හෙවත් නෑවීම  ආරම්භ විය. මටත් වර්ෂාටත් වතුර බාල්දි හත අටක්ම වැටිණි.  එයින් පසු  මල් බකට්  එක නිමා විය. වර්ෂා හා මම හොඳින් තෙතබරිත වී සිටියෙමු.  මට සියලු දේ ඉවසා සිටීමට  හැකි විය. නමුත් අවසානයේදී වර්ෂාට එය තරමක් අපහසු කටයුත්තක් විය. ඇගේ මුහුණ   මෙන්ම ඇස් දෙකද හොඳින්ම  රතු වී තිබුණි.  නමුත් ඈ මට ඇ‍ගේ අපහසු බව නොපෙන්නුවාය.  සියල්ලන්  අප වෙතින් නික්ම යද්දී මම වර්ෂා කැටුව රූස්ස ගස් යට බංකුවක් වෙත ගියෙමි.

“මට සමා වෙන්න වර්ෂා”

මම  ඇගෙන් සමාව අයැදුවෙමි.

“ඒ මොකටද?”

ඈ ඇඳ සිටි ගවුමේ තෙත පිස දමමින් ඇසුවාය.

“මම හින්දා නේ මේ ‍ ඔක්කොම”

“අයියෝ මේවා ගණන් ගත්තොත් ඉතින්  අපට මේ‍කේ ඉන්න හම්බ  වෙන්නේ නෑ.”

“ඒ වුණාට මම හිතුවේ නෑ, ඩෝරලා, බතාලා මේ වා‍ගේ මෝඩ වැඩක් කරයි කියලා”

“කෝ ඉතින්  අපිට  වරදක් වුණේ නෑනේ. පොඩ්ඩක් තෙමුණා අන්තිමට. සම්ප්‍රදායක්නේ  ඒ ගොල්ලන් කළේ”

“කෙහෙල්මල් සම්ප්‍රදාය. තේරුමක් නැති සම්ප්‍රදායවල්  රැකලා වැඩක් නෑ වර්ෂා.  හැම දාම  මට  කතන්දර  කියන ඔයාට  මම අද කතන්දරයක් කියන්නද?”

ඔන්න එක  ගම්බද  ප්‍රදේශයක පවුලක්  අවුරුද්දකට  සැරයක් ලොකු දානයක් දෙනවාලු.  එක දවසක්   දානෙ වෙනුවෙන්   ගෙදරට  ගෙනැල්ලා  කපලා  ඇතිලියකට දාලා තිබුණු  මාළු  ටික ගෙදර  පූසා කාලා.  ඊට  පස්සේ   හැම අවුරුද්දකම  ඒ දෙන  දානෙට  කලින් මේ අය  ඉස්සෙල්ලාම කරන්නේ   මේ පූසාව කුස්සියේ මේසෙට තියලා  බඳින  එකලු.  ඊට පස්සෙ තමයි  මාළු  කපන්නේ.  මේ විධියට හැම අවුරුද්දකම  දානෙට  කලින් ඉස්සෙල්ලාම පූසාව  මේසට  තියලා බඳිනවාලු.  ඊට පස්සෙලු දානේ කටයුතු ආරම්භ කරන්නේ. ඔය විධියට   ටික කලක් ගියාම ඒ ගෙදර  හිටි වැඩිහිටියෝ මිය ගිහින්.  දැන් ඒ ගෙදර  සිටි ළමයි තමයි  වැඩිහිටියෝ.  ඒත් අර විධියටම  දානේ දෙනවා. හැබැයි  ඒ වෙන කොට ගෙදර  සිටිය  පූසාත් මැරිලා. එක  අවුරුද්දක  දානෙට  මාළු කපද්දී කට්ටියට  තේරුණාලු  මොකක්  හරි අඩුවක් තිබුණ බව. පස්සේ කට්ටියට තේරිලා, පූසෙක් නෑ කියලා. එතකොට ඒ කට්ටිය  කීවාලු, ‘ඔහොම නොවෙයි මාළු කපන්නේ,  මාළු කපද්දී පූසෙක් කුස්සියේ මේසේ බැඳලා තියෙන්න ඕනෑ’ කියලා.  ඉතින් ගෙදර පූසෙක් නැති හින්දා අල්ලපු ගෙදර පූසා ඉල්ලන් ඇවිත් කුස්සියේ මේසේ කකුලේ ගැට ගහලා තියලාලු මාළු කැපුවේ.  ඊට පස්සේ  හැම අවුරුද්දකම  ඒ විධියට සිද්ධ වුණාලු. ඔන්න ඔය වගේ දෙයක් තමයි මෙහෙත් වෙන්නේ වර්ෂා”

            “ඒ වුණාට කැම්පස් එකෙන් ගිය දාකට අපිට මතක් කර  කර  සතුටු වෙන්න  පුළුවන් දේකට ඉතුරු වෙන්නේ මේ වාගේ දේවල් ටිකක් විතරයි මනේෂ්”


9 comments: