තුන් හිතකවත් නොතිබුණු
අරමුණක්
හෙට යයි කියන්නට
තව දිනක්
හිත කියන විට
හිස හැරුණු අත
ඇවිද යන්නට
පුරුදු වුණු මම
නුඹ දකින විට
නුඹ සිටින විට
නොහැඟේය මට
ඒ වගක්....
රැග්
එක අවසන් වී තවත් මාසයක් ගත වෙද්දී
මම තවත් හුදකලා වූයෙමි. අන්
කවරදාකටත් වඩා වෙන කිසිම
දෙයකින් නොලැබෙන අන්දමේ ආස්වාදයක් මම දැන් දැන් හුදකලා වීම තුළින්
ලබන්නෙමි. කැම්පස් එකේදී මිතුරන් සමඟ පම්පෝරි ගැසීමට වඩා, රූපවාහිනියේ ඉමක් නිමක් නොපෙ-නෙන
මෙගා ටෙලි නාට්‍යයක් නැරඹීමකට වඩා, මා ප්‍රිය කරන සංගීතඥයකුගේ මියුරු සංගීතයකට සවන් දීමකටත් වඩා, හුදකලා වීමෙන් මා ලබන ආස්වාදය ඉමහත්ය. නමුත් එය
මෙවැන්නකැයි විස්තර කිරීමට මම අපොහොසත් වන්නෙමි.
මා හමුවේ ඉදිරි
අනාගත සැලසුම් නොමැත. අනාගතය උදෙසා හැඩ ගැන්වීමක්ද නොමැත. ඇත්තේ වර්තමානයේ වූ හුදකලාව පමණි.
එය මඟ සොයා ගත
නොහැකිව නිරුදක කාන්තාරයක අතරමං වීමක්
වැන්න. එය අසාර්ථක
මිනිසෙකුගේ අසාර්ථක ලක්ෂණයක් බව මම
හොඳාකාරයෙන් දන්නෙමි. නමුත් එයින්
ගොඩ ඒමට මඟක් මට සොයා ගත නොහැකිය. ඒ මට
එයින් ගොඩ ඒමට අවශ්‍යකමක් ඇත්තෙන්ම
නැති නිසාද?
අවුරුදු තුනක් පමණ දත කෑවේ ‘ඒ ලෙවල්’ පිම්ම පැන ගැනීමටය. ඉගෙන ගන්නවා කියා විෂය දැනුම
වැඩි කර ගැනීමකට වඩා අප කළේ විෂයයට අදාළ ‘ඒ ලෙවල්’
පේපර්ස්වලට පිළිතුරු ලිවීමට ඉගෙන ගැනීමය. එකා පසු පස එකා
යන මාවතක, නැහැ, එකා පෙරළමින්
අනෙකුන් දුවන මාවතක ගවයන් රැළක්
මෙන් අපිත් දිව්වෙමු. කෙසේ
හෝ මට ඇවැසි වූයේ
සරසවි සිහිනය සැබෑ කර ගැනීමටය. කොටින්ම කියතොත් එක පාරටම ගොඩ
ඒමටය. එහෙයින් සෑහෙන
දේවල් මේ වෙනුවෙන් කැප කිරීමට මට සිදු විය. අවසානයේ කැප කළ
දේවල්වල ආවස්ථික පිරිවැයටත් සෑහෙන්න ප්‍රතිඵල මට
ලැබුණි; මගේ සරසවි සිහිනය සැබෑ විණි.
“මං
දැන් කැම්පස්” කියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු අලුත නෑ හිත මිතුරන් කිහිප දෙනෙකුට බොහොම ආඩම්බරයෙන්
කිවූ අන්දම මට මතකය. නිදහස් අධ්‍යාපනයේ
උපරිම ඵල නෙළා ගනිමින් එහි ඉහළට
යෑමට හැකි වීම සැබවින්ම සතුටකි.
නමුත් මා මවා
ගෙන සිටි සොඳුරු ලෝකය හා සත්‍ය
ලෝකය අතර වෙනස්කම් බොහෝ විය. එහි
ප්‍රතිඵලයක් ලෙස ඩෝරලා බතාලා
ලෙක්චර්ස් යද්දී මම කට්ටි පැන්නෙමි. ඔවුන් එනතුරු මම අප පීඨයේ
එළිමහන් මිදුලේ රූස්ස ගස් යට
බංකුවේ හිඳ ගෙන මගේ නිමක් නොපෙනෙන ලෝකයේ
තනිවීමි.
මම සුපුරුදු පරිදි බතාත් ඩෝරාත් අපේක්ෂාවෙන් එදාත් රූස්ස
ගස් යට බංකුවක හිඳ ගෙන සිටියෙමි. කවුරුන් හෝ පැමිණ මා හිඳ සිටි බංකුවට එහා බංකුවෙන් ඉඳ
ගන්නවා මට දැනුණත් මා වෙනත් කල්පනාවක සිටි
නිසා ඒ කවුරුන්දැයි දැන ගැනීමට මගේ සිත වෙහෙසුනේ නැත. ටික වේලාවකින්
මට එදෙස බැලුණි. වර්ෂා සුබ්‍රමනියම් මා දෙස බලා ගෙන සිටියාය. මා ඇය දෙස බැලූ බව
ඇය දුටු විට ඇගේ මුහුණේ මා වෙනුවෙන්
ඒ සුපුරුදු සිනාව සිත්තම් වන අන්දම මම දිටිමි. මම
ඈ වෙත ගියෙමි.
“මොකද, ලෙක්චර්ස් ගියේ
නැද්ද?”
දෙමස් වියැති අප සරසවි දිවියේ මුල්ම කතා බහට එලෙස මුල පිරිණි.
“අද පොඩ්ඩක් පරක්කු වුණා නේ”
ඈ
එය කියූ ආකාරයෙන් ඇය මා
හා කථා කළේ යම් චකිතයකින් බව මට ඒත්තු ගැන් විණි.
“ඒක
නෙවෙයි, මොකද, ඔයා වැඩිය ලෙක්චර්ස් එන්නේ නැත්තේ? මම දකිනවා, ගොඩක් වෙලාවට ඔයා මෙතැනට වෙලා ඉන්නවා”
“ෂා... ඔයාට හොඳට සිංහල කථා කරන්න පුළුවන් නේ.”
“පොඩ්ඩ පොඩ්ඩ
පුළුවන්”
ඇය
සිනා සෙමින් කීවාය. මම ඇගේ මුහුණ
දෙස බලා සිටියෙමි. මගේ හද ඇය කෙරේ මෙතරම් ලෙන්ගතු වන්නේ මන්දැයි මම නොදනිමි. මම
ඇය දෙස බලා සිටියෙමි.
“කෝ, මගේ ප්‍රශ්නෙට උත්තරේ? ඇයි
ඔයා ලෙක්චර්ස් එන්නේ නැත්තේ?”
“සමහර ප්‍රශ්නවලට උත්තර නෑ වර්ෂා”
මම කීවේ බිම බලා ගනිමිනි. එයට ඇගේ ප්‍රතිචාරය කෙලෙස දැයි බලා ගැනීමට මට සිත්වුණත් මම ඈ දෙස
නොබැලීමි. නමුත් මේ
වෙලාවේත් ඇගේ මුහුණේ ඒ සුන්දර
සිනහව ඇඳී තිබෙනවාට සැක
නැත.
“අනේ, කියන්න බැරි දෙයක් නම් කියන්න එපා. මම නිකමට වගේ
ඇහුවේ”
ඇගේ කීමට මට දුක සිතිණි.
“එහෙම දෙයක් නෑ වර්ෂා.. මට හිතෙනවා, මම තෝරා ගත්ත පාර වැරදියි කියලා.”
“පාර
වැරදියි කියන්නේ? ඔයාට හිතෙනවද කැම්පස් ආව එක
අපරාදේ කියලා?”
“එහෙමමත් නෙවෙයි. මට
හිතෙනව, ලෝ හරි
සයන්ස් හරි කළා නම් හරියි කියල. එහෙම වුණා
නම් මිනිසුන්ට මොකක් හරි
හොඳ සේවයක් කරන්න තිබුණා. සල්ලි මත, ලාභය මත පදනම්
වෙච්ච ජොබ් එකක් කරන්න මම කැමැති නෑ වර්ෂා. ඒක මම තේරුම් ගනිද්දී පරක්කු වැඩියි. මම දන්නේ නෑ මං කියන දේ
ඔයාට තේරෙනවාද කියලා.”
වයසට වඩා ළා බාල පෙනුමැති ඇගේ මුහුණට පණ්ඩිත
ස්වරූපයක් මතු වනු මම දිටිමි.
“ඔයාට
හිතෙන්නේ නැද්ද ඔයා ඔය කියන දේවල් තෝරා ගත්ත නම් තමයි ඔයා සල්ලි
පස්සෙ යන්නෙ කියල? ලෝයර් කෙනෙක් වුණා නම් ඔයා සල්ලි පස්සේ යන
කාක්කෙක් වෙයි. ඔයා දන්නවාද, මේ ලෝකේ සක්සෙස්ම
ජොබ් දෙක කරන්නේ කවුද කියලා?”
“නෑ”
“මේ ලෝකේ සක්සෙස්ම
ඩෙන්ටිස්ට්ලායි, ලෝයර්ස්ලායි. මොකද, දෙගොල්ලන්ම කරන්නේ මිනිසුන්ගේ දත් ගලවන එක නේ”
ඇය
එය කියා සිනාසුණාය. මට
සිනහ ගියත් මගේ අවධානය ඇය වෙතය.
“එතකොට ඔයා දන්නවාද, ඩොක්ටර්ස්ලා කියන්නේ කවුද කියලා?”
“නෑ නෙ”
“Doctor is
a person who kills our ills by pills and he kills us by bills”
ඇගේ
සිනහව හොඳින් විඳ ගැනීමට මා
ඇයව එයට අභිප්‍රේරණය කරන අරමුණින්
මමත් හොඳින් සිනාසුනෙමි.
“බලන්න ඔයා කොච්චර වැරදියිද කියලා.”
ඇය පවසද්දී මම ඒ ගැන සිතුවෙමි.
“හැම දේම වෙන්නේ
හොඳට මනේෂ්”
“ෂාහ්... ඔයාට මගේ නම මතකයි නේද?”
මගේ වදන් අවසානයේ ඇගේ මුහුණ රතු විය.
“ඉතින් ඔයාටත්
මගේ නම මතකයි නේ”
අප දෙදෙනා සිනාසුනෙමු. බතා හා
ඩෝරා හා එක්ව සිනාසෙනවාට
වඩා වෙනස් වූ අන්දමේ සැනසීමක්
අස්වැසිල්ලක් මට එයින් දැනුණි.
නිරුදක කතරේ ක්ෂේම භූමියක්!
තුන් හිතකවත් නොතිබුණු
ReplyDeleteඅරමුණක්
හෙට යයි කියන්නට
තව දිනක්...
බොහොම අගෙයි...
සුභ පැතුම්..! :))
බොහොම ස්තුතියි..... :)
Deleteඅහම්බෙන් මේක දැක්කේ..!!
ReplyDeleteසුබ පැතුම් ලහිරු!
දිගටම ලියන්න
කියවන්න බලාගෙන ඉන්නවා!
බොහොම ස්තුතියි :)))))))))
ReplyDeletegetting interesting day by day
ReplyDeletekeep in touch :)
ReplyDelete
ReplyDelete“එහෙමමත් නෙවෙයි. මට හිතෙනව, ලෝ හරි සයන්ස් හරි කළා නම් හරියි කියල. එහෙම වුණා නම් මිනිසුන්ට මොකක් හරි හොඳ සේවයක් කරන්න තිබුණා. සල්ලි මත, ලාභය මත පදනම් වෙච්ච ජොබ් එකක් කරන්න මම කැමැති නෑ වර්ෂා. ඒක මම තේරුම් ගනිද්දී පරක්කු වැඩියි. මම දන්නේ නෑ මං කියන දේ ඔයාට තේරෙනවාද කියලා.” matath hithenne mehema
ReplyDelete“එහෙමමත් නෙවෙයි. මට හිතෙනව, ලෝ හරි සයන්ස් හරි කළා නම් හරියි කියල. එහෙම වුණා නම් මිනිසුන්ට මොකක් හරි හොඳ සේවයක් කරන්න තිබුණා. සල්ලි මත, ලාභය මත පදනම් වෙච්ච ජොබ් එකක් කරන්න මම කැමැති නෑ වර්ෂා. ඒක මම තේරුම් ගනිද්දී පරක්කු වැඩියි. මම දන්නේ නෑ මං කියන දේ ඔයාට තේරෙනවාද කියලා.” matath hithenne mehema