Monday, October 15, 2012

ගිම්හාන වර්ෂා - තෙවන දිගහැරුම


මේ මහා නියං සම
ඉරි තැලී බෙදී ගිය
මහ පොළොව හිත දවන

දිය සිදුණු විල් තෙරක
ගැහෙන මින් රළ ලෙසක
අඳුරු සරසවි බිමේ

අහිංසක යහළුවෝ
අහිංසක යෙහෙ‍ළියෝ

අහස දෙස බලාගෙන
වැසි යදියි...



















නවකවදය හෙවත් රැග් එක  නිසාවෙන්  අප ලද විශාලතම ප්‍රතිලාභය නම් අප හොඳින් එකිනෙකා දැන හඳුන ගැනීමයි. ඉහළ ඇත්තන්ගෙන් තැළෙන විට පහළ ඇත්තන් එක්වීම සාමාන්‍ය  තත්ත්වයකි. ඒ ධර්මතාවට  අනුව නවකයන් වූ අප කුඩා කණ්ඩායම් වශයෙන් වෙන් වෙන්ව හිටියත් බැජ්  එකක් වශයෙන් දැඩි මිත්‍රත්වයක් අප අතරේ විය. රැග් එකේ ප්‍රධාන අරමුණ වශයෙන් ශ්‍රේෂ්ඨ  උත්තමයන් කියුවේද මේ ‘බැජ් ෆිට්  එක”  ය. 

      නමුත්  රැග්  එක මඟ හැරී  පිරිසට තත්ත්වය  සම්පූර්ණයෙන්ම වෙනස් විය. මුල් කාලයේදී  ඔවුහු  මහත් අසරණ තත්ත්වයකට පත්ව සිටියහ.  රැග් එකට පැමිණ රැග් වූ පිරිස  බොහෝ නවකයන් මෙන්ම ඉහළ වසරවල  සොයුරු සොයුරියන්ද දැන සිටි නමුත්  රැග් එකට  නොපැමිණි පිරිස කිසිවෙක් දැන හඳුනා ගෙන නොසිටියහ.  රැග් එකේ අවසාන ප්‍රතිඵලය රැග් එකට පැමිණි සහ නොපැමිණි ලෙසින් මුළු බැජ් එකම දෙකඩ  කිරීමයි. එය අවසන් වසරේ බැජ් එකේද  දක්නට ලද හෙයින් සරසවි  දිවියේ සිව් වසර තුළම මේ පිළිකුල් සහගත බෙදීම  එලෙසින්ම පවතිනු ඇත. එය නවකයන් වූ අපගේ වුවමනාවකට  සිදු වූවක් නොවීය.  එය අපගේ ඔළුවලට   දමනු ලැබුවේ   ඉහළ වසරවල  උත්තමයන්  විසින්ය.

රැග් එක සිදු වූයේ සංවිධානාත්මක  අයුරිනි. එහි පළමු සතියේදී  හැකි  පමණින්   නවක අප භය කෙරිණි.  දෙවන  සතියේදී අවවාද හා අනුශාසනා ලැබිණි.  තෙවන සතියේදී  සිංදු කීම වැනි දෑ කෙරුණු අතර, සිවු වැනි සතියේදී නා නා ප්‍රකාර ඉදිරිපත් කිරීම් කිරීමට  සිදු විය.  නවක නැව හෙවත් නව බැජ්  එක රැග් කිරීමට වරම් ලැබුණේ  දෙවන  වසර ජ්‍යෙෂ්ඨ උත්තමයන්ටය.  එය අධීක්ෂණය, තෙවන  වසර අති ජ්‍යෙෂ්ඨ  උත්තමයන්ගෙන් හා අවසන් වසර අති අති  ජ්‍යෙෂ්ඨ උත්තමයන් අතින් සිදු කෙරිණි.  ඒ අනුව දෙවන වසර ජ්‍යෙෂ්ඨ  උත්තමයන් අතරින් රැග් එක  භාරව කටයුතු  කිරීමට ‘රැග්  ලීඩර්’ කෙනෙකු  කලින්ම පත් කර ගෙන තිබුණේය.  ඔහු ගිය වසරේ  පළමු වසරේදී හොඳින් රැග් වූ  කෙනකු  අතරින්  තෝරා ගත් අයෙකි.  රැග් කාලය තුළ එය සූක්ෂ්ම  අයුරින්  මෙහෙය වනු ලබන්නේ  ඔහු  විසිනි.   කිසිම  අයුරකින්වත්  ඉහළ වසරවල  සොහොයුරියන්ට  රැග් එකට  කිසිම අයුරකින් හෝ දායක වීමට අවසරයක් නොතිබුණි.  එය එසේ නොවන්නට තත්ත්වය සෑහෙන්නට වෙනස් වන්නට තිබුණි.


       රැග් එකක  අරමුණු කිහිපයක් වෙයි. ‘බැජ් ෆිට් එක’ ඇති කිරීම  යන ප්‍රධාන අරමුණ ඇරුණු  විට   සරසවිය  ගැන අවබෝධයක්   ලබා දීමත්, සරසවි සම්ප්‍රදායයන් ගැන දැනුවත්   කිරීමත්  ඒ හරහා  සිදු වෙයි.  ඒ ජ්‍යෙෂ්ඨයන් අපට  කියන   අරමුණුය.  ඒවාට අමතරව ඔවුන්ගේ තවත් අරමුණු කිහිපයක් වෙයි. ප්‍රධාන වශයෙන් ඔවුනට  අවශ්‍ය  වනුයේ බැජ් එක ඔවුන්ට  නතු කර ගැනීමයි. ඔවුන්ගේ පාලනය යටතේ නවකයන්  තබා ගැනීමට ජ්‍යෙෂ්ඨයන්ට  අවශ්‍යය.  එහෙයින්  ඔවුන්ට තර්ජනයක්  ඇති නොවන ආකාරයෙන් නවක බැජ්  එක පවත්වා ගැනීම උදසා ඔවුන්  විසින් රැග් කිරීම කරනු ලබයි.

         එමෙන්ම අලුත් නැව එනතුරු  ඇඟිලි  ගනිමින්  සිටි තවත් කොටසක් වෙයි. ඔවුන්  නම්  නවක නැවෙන් ගොඩ යෑමට බලා සිටින පිරිසයි.  එනම් නවකයන් අතරින් ගැහැනු  ළමයකු  යාළු කර ගැනීමට බලා සිටින  පිරිසයි. රැග් කාලය තුළ ‘පොරවල්’  ලෙසින් බොහෝ විට  හැසිරෙන්නේද මේ පිරිසමය. ඔවුන් තමන්ට හිත ගිය ගැහැනු ළමයා කරා ගොස් ඇගේ අවධානය  ගනු පිණිස  ඈව  වැඩියෙන්  රැග් කරයි.  එවන් බොහෝ අයගේ ප්‍රයත්නයන්  සාර්ථක වේ. රැග් එකෙන් පසු  ඔවුන්ගේ   ව්‍යායාමය  මල් ඵල  ගැන්වේ.   ජ්‍යෙෂ්ඨයන්   රැග් එකේදී නවක ගැහැනු ළමයකුව  කොයි තරම් සේදුවත් (යාළු  කර ගැනීමට ලකුණු  දා ගැනීමට තැත් කිරීම)  එය ගොඩ දා  ගැනීමට හැකි වනුයේ රැග්  එකෙන් පසුවය. එබැවින් ඇතැම් නවක සොයුරියෝ  තමන්ට  ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන එම ජ්‍යෙෂ්ඨයන්ව රැග් කළහ.   ඔවුන්  ගණන්  උස්සා ජ්‍යෙෂ්ඨයන්ව පස්සෙන් ගෙන්වා ගෙන රැග් එකෙන් පසුව  ගණන් නොගෙන  අත් හරින ලදි.  රැග් එකෙන් පසුව නවකයන්ට ජ්‍යෙෂ්ඨයන්ගේ කිසිම බලපෑමකට යටත් නොවී සිටිය හැකි නිසා එසේ කිරීම ඔවුන්ට ඉතා පහසු කාර්යයක් විය.

        නවක  බැජ් එකෙන් ගොඩ යෑමට  බලා ගෙන සිටින පිරිස තම  අභිප්‍රාය  සාර්ථක කර ගැනීම සඳහා අපගෙන් ප්‍රතිඥාවක් ලබා ගත්හ.  එය අපගේ අත් ඉදිරියට දික් කර සපථ කළ යුතු විය. එය මෙසේය:

       “අපේ බැජ් එකේ ගැහැනු  ළමයි අපට නොවේ.  ජ්‍යෙෂ්ඨ උත්තමයන් වන ඔබලාටය.  ඔවුන් අපේ ඇසට දැකීමට පමණි.  ඔවුන් ගැන සිතීමට අවසර ඇත්තේ ඔබලාටය. අපි ඊළඟ නැව පැමිණෙන  තුරු බලා සිටිමු.”

       නමුත්  එම ප්‍රතිඥාව කට වචනයට  පමණක්ම සීමා විය.   රැග් එකෙන් පසු බොහෝ දෙනෙක්   ජෝඩු වූහ.   නමුත් එය පිටට නොපෙන්වා රහසින්  තම සම්බන්ධය  පවත්වා ගැනීමට  ඔවුහු වග බලා ගත්හ.  එම නිසා  කවුරුන්  කා සමඟ ගොඩ ගොස් ඇත් දැයි එකම බැජ් එකේ වූ අපටවත් හරි හැටි තේරුම් ගැනීමට නොහැකිය.

       ජ්‍යෙෂ්ඨයන් පවසන අන්දමට රැග්  එකේ ප්‍රධාන අරමුණ  ‘බැජ් ෆිට් එක’ ඇති කිරීම වුවද   ඔවුන් රැග්  කාලය තුළම නවකයන්ට  බැම්මක් ගසා   හොස්ටල්  හා හොස්ටල් නොවන ලෙසින්  වෙන් කරන ලදි.  අප ෆැකල්ටියේ  බලය ඇත්තේ අනේවාසීක  පිරිසටය. එනම් කවුන්සිලය  පැවතියේ අනේවාසිකයන් සිටි පක්ෂයේය.  අලුත් බැජ්  එකක්  පැමිණ  මාසයකින් පමණ පසුව  ‘ශිෂ්‍ය  කවුන්සිලයට’ නාම යොජනා ඉදිරිපත් කිරීම සිදු වේ.  ෆැකල්ටියේ වැදගත් යැයි කිව හැකි සියලු කටයුත්තක් පාහේ  කවුන්සිලය  හරහා සිදු වෙන බැවින් ඒ සඳහා ෆැකල්ටියේ ප්‍රධාන තැනක්  හිමි විය.  ඒ අනුව දේශපාලන  පක්ෂ කවුන්සිලයේ බලය තහවුරු කර ගැනීම සඳහා  නාම යෝජනා භාර දෙයි.  ප්‍රධාන   දේශපාලන  පක්ෂ දෙක නේවාසික හා අනේවාසික  ලෙස බෙදී  තිබුණි.  අප ෆැකල්ටියේ නේවාසික  පිරිස  සුළු  ගණනක් වූ නිසා කවුන්සිලය  හිමි වීමේ වැඩි වාසිය අනේවාසික පක්ෂය  සතු විය.

       අනේවාසික  ජ්‍යෙෂ්ඨයන්   නවක අනේවාසිකයන්ව  වැඩිපුර  රැග් කර ඔවුන්ව   බැජ් එකේ   පොරවල් කිරීමට  වෙහෙස වූ අතර, නේවාසික ජ්‍යෙෂ්ඨයන්  නවක නේවාසිකයන්ව  වැඩිපුර  රැග් කර ඔවුන්ව බැජ් එකේ පොරවල් කිරීමට  වෙහෙසුණහ.   නමුත් නවකයන් වූ  අපි මේ සියල්ල  රැග් කාලයේදී ඉවසා  වදාරා  සිට  රැග් එකෙන් පසු මේවා සියල්ල අමතක කර බැජ් එකක් වශයෙන් ස්වාධීනව සහයෝගයෙන් කටයුතු කරන බවට සම්මුතියකට පැමි‍ණියෙමු. නමුත් අවාසනාවකට  එය එලෙසින්  සිදු නොවිණි.  ජ්‍යෙෂ්ඨයන්ගේ තෙල් කෑ එනම්  ජ්‍යෙෂ්ඨයන් ගහන පදයට හරි හැටි නටන්නට සූදානම් වූ, ජ්‍යෙෂ්ඨයන්ගේ විෂ බීජ  නියමාකාරයෙන්  මොළගත කර ගත් නවක සුළු පිරිසක්   නිසා  නේවාසික  හා අනේවාසික ලෙස අප බැජ් එකත් දෙකට බෙදුණි. කෙසේ වෙතත් මා හා මගේ සුමිතුරු බතා හා ඩෝරා සැම විටම උත්සාහ දැරුවේ මේ කණ්ඩායම් දෙක සමඟම  එකට  සිටීමටය.

       සරසවියේ  රැග් එක   මසකින් පසු අවසන්  වුවත්   නේවාසිකාගාරයේ රැග් එක  එසේ අවසන් නොවුණි. සැබෑ වශයෙන් නේවාසිකාගාරයේ රැග් එක පටන් ගත්තේ එතැන් පටන්ය කියා  කිව්වොත් එය නිවැරදිය. නේවාසිකයෝ   දිනකට  පැය දෙක තුනකට  වඩා නිදි නොලබන  බව ලෙක්චර්ස්වලදී  ඔවුන්ගේ නිදා වැටීමෙන්ම  කාටත්  අවබෝධ විය. ඒ වාගේම  නේවාසිකයෝ බයිසිකල් පැදීමට පුදුම ලෙස අසමත් වූවන් බවටත් අපට මනාව අවබෝධ විය. මන්දයත් මේ නේවාසික  නවකයන් නේවාසිකාගාරයේ බයිසිකල් පැද තිබූ අතර, සියල්ලෝම පාහේ ඇද වැටී අත් පා තුවාල කර ගෙන සිටියහ.  ඔවුන්ගේ තුවාල    දැක ඒ ගැන අප ඇසූ විට ඔවුන් කීවේ බයිසිකල් පැද වැටී තුවාල වූ බවය.  ඒවා ඇසූ  ඇතැම්  අනේවාසිකයෝ සිනාසුනහ. නමුත් සැබැවින්ම නේවාසිකයන්ගේ තත්ත්වය අනුකම්පා සහගත එකක් විය.  ඔවුන් කිසි විටෙකත්  නේවාසිකාගාරයේදී  රාත්‍රි කාලයේ රැග් වීම පිළිබඳව  අපට කීවේ නැත. නමුත් එහෙන් මෙහෙන්  අපට ඒ ගැන ආරංචි විය.  මේ අමානුෂීය  රැග් හමුවේ ඔවුහු අනේවාසිකයන්ට වඩා දැඩි සහෝදර ප්‍රේමයකින් වෙළී සිටි බව නම් සැබෑය. 

       කෙසේ  හෝ අවසානයේ කවුන්සිලයේ  බලය නැවතත් වැඩි පිරිස් බලයක් සිටි අනේවාසික  පක්ෂය සතු විය. පිරිස් බලය අඩු නිසා මෙවර නේවාසිකයන් නාම යෝජනා  භාර නොදුණි.   එහෙයින් නිතරග ජයක් අනේවාසිකයන්ට  හිමි විය.

        රැග්  එකේ ප්‍රධාන අරමුණ  ‘බැජ් ෆිට් එක’ ඇති කිරීම වුණත් එය  රැග් එකට  පැමිණි සහ නොපැමිණි ලෙසත්, නේවාසික  හා අනේවාසික ලෙසත් බැජ් කිරීමට සමත් විය. එමඟින්  ඇති වූ   ‘ෆිට්’ එකක් නම් නොවීය.  එහෙයින්  ප්‍රධාන  අරමුණම මුළුමනින්ම  අසාර්ථක වූ ව්‍යායාමයක්  සාර්ථක එකක් වන්නේ කෙලෙසින්ද? රැග් එක  බැජ් එකේ ප්‍රශ්න ඇති කිරීමේ මුදුන් මුල විය.





3 comments:

  1. මසුරන් දන්නා හිතෙනවා කටට

    ReplyDelete
  2. අවුරුදු කිහිපයකට පස්සේ මේ ෆැකල්ටියෙම ඉන්න මට මේ ටික මෙහෙම ම හිතුනා

    ReplyDelete